28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

කොළඹ ‘ගෆූර් ගොඩනැගිල්ල’ සහ ‘එයිටි ක්ලබ්’ ආයෝජකයන්ට…

ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන අවස්ථා සදහා ලබා දීමට සැලසුම් කෙරේ. ඒ සම්බන්ධයෙන් විදේශ ආයෝජකයින් සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ජෝර්ජියාවේ ශ්‍රී ලංකා කොන්සල් Nino Makhviladze මහත්මිය ඇතුළු ජෝර්ජියානු ආයෝජකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. මෙම සාකච්ඡාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේදී අද (5) දින පැවැත්විණි.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන මෙරට පෞරාණික ගොඩනැගිලි සුදුසු පරිදි ආයෝජන අවස්ථා සදහා යොදා ගැනීම සම්බන්ධයෙන් සහ  ජෝර්ජියානු ආයෝජකයින් වෙත එම ආයෝජන අවස්ථා ලබා දීමට ඇති  හැකියාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණ.

කොළඹ ගෆූර් ගොඩනැගිල්ල සහ කොළඹ “එයිටි ක්ලබ්” ගොඩනැගිල්ල වැනි ස්ථාන කිහිපයක් මේ සදහා හඳුනාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම ගොඩනැඟිලිවල ඓතිහාසික පෞරාණිකත්වයට හානි නොවන අයුරින් ඒවා නවීකරණය කරන බවයි. මෙරට බොහෝමයක් පෞරාණික ගොඩනැඟිලි නිසි නඩත්තුවක් නොමැති බැවින් විනාශ මුඛයට යමින් තිබේ. ඒවා නවීකරණය කර සුදුසුලෙස ආයෝජන සඳහා යොදා ගැනීමෙන් මෙරටට ආදායම් උපයා ගත හැකි බවද අමාත්‍යවරයා කීය.

පසුගිය සමයේදී මෙරට මුහුණදී තිබු ආර්ථික අර්බුධ කෙමෙන් විසඳෙමින් පවතී. එබැවින් ඉදිරියේදී මෙරට ආයෝජන අවස්ථා පුළුල් කිරීමට විදේශීය ආයෝජකයින්ගේ සහයෝගය හිමි වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසට පළ කරයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේ කඩිනමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසයි. එමෙන්ම මෙම වැඩසටහන සදහා යොදා ගත හැකි තවත් ස්ථාන පිළබදව සොයා බලා ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකසන ලෙසද ඇමතිවරයා මෙහිදී නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

එහිදී නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කළේ රට පුරා පවතින මෙවැනි ස්ථාන පිළිබදව මේ වන විට තොරතුරු ලබා ගනිමින් පවතින බවත්, එම ස්ථානද ඉදිරියේදී මෙම වැඩසටහන සදහා යොදා ගත හැකි බවත්ය.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපළ) ඊ.ඒ.සි. ප්‍රියශාන්ත යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

– ප්‍රදීප් අනුර කුමාර

Related posts

ජනාධිපතිවරණය පවත්වනවා.. මුදල් වෙන් කර අවසන්..- මැතිවරණ කොමිසම දන්වයි

Maimoonar

මතභේදාත්මක ඉංග්‍රීසි මොඩියුලයේ වගකීම භාරගනිමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වෙයි

Maimoonar

IMF යෝජනාව අවසන් අදියරට.. යෝජනාව විධායක මණ්ඩලයට..

Maimoonar

490 comments

Comments are closed.