Local NewsNews

‘ආර්නැබ්’ චක්‍රවාතය ප්‍රචණ්ඩ වෙයි: තද සුළං සහ රළු මුහුද ගැන නාවික හා ධීවර ප්‍රජාවට රතු නිවේදනයක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඇතිවී තිබෙන ‘ආර්නැබ්’ (Arnab) චක්‍රවාතය තවදුරටත් වර්ධනය වී ‘දැඩි ප්‍රචණ්ඩ චක්‍රවාතයක්’ (Very Severe Cyclonic Storm) බවට පත්ව ඇති බැවින්, වෙන්කර දක්වා ඇති මුහුදු ප්‍රදේශ වෙත යාමෙන් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවට දැඩි ලෙස අනතුරු අඟවයි.

දෙපාර්තමේන්තුවට අනුව, අද (27) අලුයම 2.30 වන විට මෙම කුණාටුව උතුරු අක්ෂාංශ 15.9° සහ නැගෙනහිර දේශාංශ 85.4° ආසන්නයේ, එනම් කන්කසන්තුරයට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව තිබිණි.

එය අද පස්වරු 5.30 දක්වා බටහිර-වයඹ දෙසට ගමන් කර, පසුව වයඹ දෙසට ගමන් කරමින් හෙට (28) පෙ his 11.30 වන විට දැඩි ප්‍රචණ්ඩ චක්‍රවාතයක් ලෙස ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් වෙරළ තීරයෙන් ඉන්දියානු භූමියට කඩා වදිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පද්ධතියෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් එල්ල නොවූවද, ඊට අදාළ සුළං ප්‍රවාහය හේතුවෙන් අද දිනයේත් දිවයිනේ නිරිතදිග කොටස්වලට වැසි ඇතිවිය හැකිය.

අනතුරු ඇඟවීම නිකුත් කර ඇති මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80 සිට 140 දක්වා ඉහළ යා හැකි අතර, තද ගුරුන් සහිත තද වැසි සහ මීටර් 3 සිට 4 දක්වා වූ උසින් යුත් රළ හමු විය හැකිය. එමඟින් මුහුද ඉතා රළු ස්වභාවයක් ගනු ඇත.

ඒ අනුව, නැවත දැනුම්දෙන තුරු උතුරු අක්ෂාංශ 10° සිට 20° දක්වා සහ නැගෙනහිර දේශාංශ 80° සිට 95° දක්වා වන මුහුදු ප්‍රදේශ වෙත සංචරණය නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට උපදෙස් දී ඇත. මේ වන විටත් එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටින පිරිස් වෙතොත් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ඉල්ලා සිටී.

මේ අතර, කොළඹ සිට ගාල්ල, මාතර, හම්බන්තොට, පොතුවිල් සහ මඩකලපුව හරහා මුලතිව් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 සිට 65 දක්වා ඉහළ යා හැකි අතර විටින් විට මුහුද ඉතා රළු විය හැකිය.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ රළ මට්ටම මීටර් 2 සිට 2.5 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වූ තාවකාලික තද සුළං ඇතිවිය හැකි අතර, එම අවස්ථාවලදී ද මුහුද ඉතා රළු විය හැකිය.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කටයුතු කරන නාවික හා ධීවර ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ අනාවැකි පිළිබඳව විමසිලිමත් වන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Related posts

වැලිසර කදවුරේ කොරෝනා පාලනය අමාරුයි.. එහි තත්වය ඇමරිකාව, එංගලන්තය වගේ..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

Maimoonar

අර්බුදයට චන්ද්‍රිකා විසදුම් දෙකක් දෙයි..

Maimoonar

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

Maimoonar