Local NewsNews

අධික වර්ෂාව හමුවේ ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ: ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක්

දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක වාන්දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ හේතුවෙන් ගංගා, ඔයවල් සහ පහත්බිම් ආශ්‍රිතව වෙසෙන ජනතාවට දැඩි විමසිලිමත්භාවයකින් පසුවන ලෙස උපදෙස් දී ඇත.

දැදුරුඔය, රාජාංගණය (කලාඔයට), කුකුළේගඟ (කුඩා ගඟට), තබ්බෝව (මී ඔයට) සහ කලාවැව (දඹුලු ඔය හරහා) යන ජලාශවලින් මේ වන විටත් ජලය පිටකෙරෙමින් පවතී. කුකුළේගඟ ජලාශයෙන් විදුලි බල උත්පාදනය සඳහා තත්පරයට ඝන මීටර් 48ක ජල ධාරිතාවක් අතිරේකව මුදාහැරේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දලසම්පත් හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ අනුරාධපුරය, ත්‍රිකුණාමලය, පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට දැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවයි.

කළුගඟ ද්‍රෝණියේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ත් 75ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති අතර, පවතින කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරි පැය 24 තුළ කළුගඟ පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, ආයගම, ඇලපාත සහ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, මදුරාවල, පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි.

මේ අතර, මහවැලි ගඟේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් පස්බාගේ කෝරළය ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් සඳහා ‘තැඹිලි’ (Amber) වර්ණයේ අවදානම් නිවේදනයක් නිකුත් කර ඇත.

කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ වාන්දොරටු ඕනෑම මොහොතක විවෘත කිරීමේ අවදානමක් පවතින බැවින් කොත්මලේ ඔය පහළ ධාරාවේ නුගවෙල, රිවර්සයිඩ්, මාවතුර සහ උලපනේ සිට ගම්පොළ, වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය, කටුගස්තොට හරහා පොල්ගොල්ල දක්වා මහවැලි ගඟ දෙපස වෙසෙන ජනතාව දැඩි ලෙස විමසිලිමත් විය යුතුය.

නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇදහැලුණු අධික වැසි හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය ද පිටාර ගැලීමට පටන් ගෙන ඇති අතර, ඒ හේතුවෙන් කැලණි ගඟට ගලාබසින කෙහෙල්ගමු ඔයේ මෙන්ම කැලණි ගඟේ ද ජල මට්ටම් ඉහළ ගොස් ඇත.

කළුගඟ සහ මහවැලි ගඟේ ජල මට්ටම් ඉහළ යාම නිසා රත්නපුර සහ නාවලපිටිය ප්‍රදේශවල මේ වන විටත් සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර, කැලණි ගඟ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලට කෙටි කාලයක් තුළ ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ද නිවේදනය කෙරේ.

Related posts

මත්ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනයට පුළුල් ජාතික මෙහෙයුමක් : විශේෂඥ කමිටුවක් ද පත් කරයි

Maimoonar

බැංකු හෝ මුල්‍ය ආයතනවල තැන්පතු සම්බන්ධයෙන් පූර්ණ වගකීමක් මහ බැංකුවට නෑ ලු

Maimoonar

සරසවි සිසුන් රැසකට ඡන්දය දීමට නොහැකි වේ..

Maimoonar