දේශීය පොලී අනුපාතික සංශෝධනය වීම සහ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ මිල උච්චාවචනයන් (Fluctuations) දක්නට ලැබුණද, වෙළෙඳපොළ අනවශ්ය ලෙස අස්ථාවර වී නොමැති බව මුදල් සහ ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය මහාචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් නියෝජ්ය අමාත්යවරයා අද මේ බව සඳහන් කළේය.
කොටස් වෙළෙඳපොළේ දැනට පවතින මෙම තත්ත්වය තාවකාලික එකක් බව පෙන්වා දුන් නියෝජ්ය අමාත්යවරයා, ඉදිරි කෙටි කාලය තුළ වෙළෙඳපොළ යළි ප්රකෘතිමත් වී ස්ථාවර තත්ත්වයකට පත්වනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ද අවධාරණය කළේය.
මෑත සති කිහිපය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) සහ S&P SL20 දර්ශකය සැලකිය යුතු වෙනස්වීම්වලට ලක්විය. දේශීය මුදල් ප්රතිපත්තිවල සිදුවූ සංශෝධන මෙන්ම, ගෝලීය බොරතෙල් සැපයුමට සහ ලෝක ආර්ථිකයට බලපෑම් එල්ල කරමින් මැදපෙරදිග හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ආයෝජකයන් යම් ප්රවේශම්කාරී පිළිවෙතක් අනුගමනය කිරීම ඊට ප්රධාන හේතුව වී තිබේ.