27.7 C
Colombo
October 22, 2026
International NewsNews

ඉරානයට නැවත පහරදීමට ඊශ්‍රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්‍රම්ප්ගෙන් විරෝධය

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සූදානම් කර තිබූ සැලසුමකට, එළඹෙන එක්සත් ජනපද අතුරු මැතිවරණයට පෙර යළි කලාපීය යුද්ධයක් ඇවිළවීමට ඇති අකමැත්ත හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධය පළ කර ඇති බව බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ ‘Financial Times’ පුවත්පත වාර්තා කරයි.

මෙම යුද සැලසුම් පිළිබඳ රහස්‍ය තොරතුරු සහිත ආරංචි මාර්ග තුනක් උපුටා දක්වමින් එම පුවත්පත පෙන්වා දෙන්නේ, පසුගිය ඔක්තෝබර් 10 වැනිදා සති අන්තයේදී ඉරාන පාලන තන්ත්‍රයේ ප්‍රධාන මධ්‍යස්ථාන, න්‍යෂ්ටික බලාගාර මෙන්ම බලශක්ති පද්ධති ඇතුළු ප්‍රධාන සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පූර්ණ සූදානමින් පසුවූ බවයි.

පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරයන්ටත් වඩා අතිශය ප්‍රබල හා විනාශකාරී ප්‍රහාර මාලාවක් මෙවර සැලසුම් කර තිබූ අතර, මීට පෙර ඉලක්ක නොවූ සිවිල් යටිතල පහසුකම් රැසක් ද ඊශ්‍රායලයේ නව ඉලක්කගත ලැයිස්තුවට ඇතුළත් කර තිබූ බව අනාවරණය වේ.

කෙසේ වෙතත්, එළඹෙන නොවැම්බර් 03 වැනිදා පැවැත්වීමට නියමිත එක්සත් ජනපද කොංග්‍රස් අතුරු මැතිවරණය හමුවේ මැදපෙරදිග නව යුද පෙරමුණක් විවෘත කිරීම සිය දේශපාලන ස්ථාවරත්වයට අහිතකර ලෙස බලපානු ඇතැයි සලකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම සැලසුමට දැඩි විරෝධය පළ කර ඇත. මේ හේතුවෙන් නෙතන්යාහුගේ හමුදා මෙහෙයුම අතරමඟ අත්හිටුවීමට සිදුවූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ප්‍රහාරය සඳහා ඇමරිකාව සෘජුව දායක වීමට නියමිතව තිබුණේද යන්න මෙතෙක් තහවුරු වී නොමැති වුවද, ඉදිරි සති කිහිපය තුළ යළි මෙවැනි ප්‍රහාරයක් දියත් වීමේ අවදානම බැහැර කළ නොහැකි බවත්, ගැටුම් නැවත ආරම්භ කිරීමේ අවසන් තීන්දුව මුළුමනින්ම ජනාධිපති ට්‍රම්ප් සතුව පවතින බවත් පුවත්පත් වාර්තාව වැඩිදුරටත් කියා සිටියි. මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් අදහස් දැක්වීම ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) හදිසියේ ඊශ්‍රායලයේ රහසිගත සංචාරයක නිරත වෙමින් අගමැති නෙතන්යාහු හමුවී කලාපීය තර්ජන පිළිබඳ සාකච්ඡා පවත්වා දින දෙකක් ගතවීමටත් මත්තෙනි.

ඊශ්‍රායලයේ ‘Channel 12’ රූපවාහිනී නාලිකාව ද පසුගිය සතියේ වාර්තා කර තිබුණේ, ඔක්තෝබර් 27 වන දින පැවැත්වීමට නියමිත ඊශ්‍රායල මහ මැතිවරණයට සහ නොවැම්බර් 03 ඇමරිකානු මැතිවරණයට පෙර ඉරානයට එරෙහි ප්‍රහාර යළි දියත් කරන ලෙස නෙතන්යාහු ජනාධිපති ට්‍රම්ප්ට දිගින් දිගටම බලපෑම් කළ බවයි.

එහෙත්, ඔක්තෝබර් 09 වැනිදා ප්‍රකාශයක් කළ ඩොනල්ඩ් ට්‍රම්ප්, අතුරු මැතිවරණයට පෙර ඉරානයට පහර නොදෙන බව ප්‍රසිද්ධියේම කියා සිටියේය. ඊශ්‍රායල හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජනරාල් ඉයාල් සමීර් (Eyal Zamir) ඇමරිකානු ආරක්ෂක බලධාරීන්ට පෙන්වා දී තිබුණේ, ඉරානය වෙත එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට ප්‍රතිචාර වශයෙන් ටෙහෙරානයෙන් එල්ල විය හැකි දැවැන්ත බැලස්ටික් මිසයිල වර්ෂාව හමුවේ ඊශ්‍රායලයේ මහ මැතිවරණය පවා අත්හිටුවීමට සිදුවනු ඇති බවයි.

Related posts

මෙට්‍රික් ටොන් 1358ක් සූර්ය බලාගාරවලින් ලැබෙනවා..- බලශක්ති ඇමති

Maimoonar

‘ගෝඨාභයට දිනන්න රට අනාරක්‍ෂිත කල යුතුයි..’- Channel4 හෙලිදරවුව මෙන්න…

Maimoonar

SJB පාර්ලිමේන්තු මන්ත‍්‍රී හමුදාපතිගේ නිවස වීඩියෝ කරයි.. පොලිසියට පැමිණිලි..

Maimoonar