27.7 C
Colombo
October 22, 2026
AI NewsInternational NewsNews

මුහුද යට අන්තර්ජාල කේබල් සහ AI මධ්‍යස්ථාන විනාශ කිරීමට ඉරානයෙන් තර්ජන: ලෝක අන්තර්ජාල ජාලයට දැවැන්ත අවදානමක්

ඇමෙරිකා එක්සත් ජනපදය සමග යළිත් යුද ගැටුමක් හටගතහොත් මැදපෙරදිග කලාපයේ පිහිටි දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති සහ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර ඇති බව ‘අල් ජසීරා’ පුවත් සේවය වාර්තා කරයි.

ඉරාන ආරක්ෂක ප්‍රධානී මොහ්සෙන් රෙසායි විසින් මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ, රතු මුහුදු තීරයේ තීරණාත්මක මුහුදු මාර්ගයක බලය ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් අතට පත්වෙමින් පවතින පසුබිමකය. මෙම තත්ත්වය යුරෝපය සහ ආසියාව යා කරන අන්තර්ජාල සන්නිවේදන පද්ධතිය දැඩි අනතුරකට ලක් කර ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

TeleGeography පර්යේෂණ ආයතනයේ දත්ත උපුටා දක්වමින් අල් ජසීරා වාර්තා කරන්නේ, යුරෝපය සහ ආසියාව අතර සමස්ත දත්ත හුවමාරුවෙන් සියයට 90 කට වඩා සිදුවන්නේ රතු මුහුද යටින් දිවෙන ෆයිබර් ඔප්ටික් කේබල් පද්ධති හරහා බවයි. මෙම කේබල් ගමන් කරන්නේ කිලෝමීටර් 26ක් පමණ පළලැති ඉතා පටු ‘බාබ් අල්-මන්දෙබ්’ (Bab al-Mandab) සමුද්‍ර සන්ධිය ඔස්සේය. එය සමස්ත ලෝකයේම අන්තර්ජාල ගමනාගමනයෙන් පහෙන් එකකට (1/5) ආසන්න ප්‍රමාණයක් දරා සිටින මර්මස්ථානයකි.

දැනටමත් යේමන රජයේ හමුදා සහ හූති සටන්කාමීන් අතර එම කලාපයේ දරුණු ගැටුම් ක්‍රියාත්මක වන අතර, හූතිවරුන් විසින් පසුගිය සැප්තැම්බර් මාසයේදී මෝචා වරාය සහ සමුද්‍ර සන්ධිය මැද පිහිටි මයියුන් දූපත වෙත සිය ග්‍රහණය ව්‍යාප්ත කිරීමට උත්සාහ කර තිබේ. ගැටුම් පවතින කලාපයක මුහුදු පත්ලේ කේබල් පද්ධතියකට හානි සිදුවුවහොත්, ආරක්ෂක හේතූන් මත ඒවා අලුත්වැඩියා කිරීම අතිශය දුෂ්කර වනු ඇත.

පසුගිය මාසවල පැවති ගැටුම් අතරතුරදීද ගල්ෆ් කලාපයේ තාක්ෂණික යටිතල පහසුකම් ඉලක්ක විය. ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ක්‍රියාත්මක කළ යුද මෙහෙයුම්වලදී, ඉරාන සිවිල් ඉලක්කවලට එල්ල වූ ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඇමෙරිකානු ව්‍යාපාරික ස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ බව ටෙහෙරානය ප්‍රකාශ කර තිබිණි.

එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඇමසන් වෙබ් සර්විසස් (AWS) මධ්‍යස්ථාන දෙකකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ අතර, බහරේනයේ පිහිටි මධ්‍යස්ථානයකටද බරපතළ භෞතික හානි සිදුවිය. පසුගිය සැප්තැම්බර් මාසය වන විටත් එහි ඇතැම් දත්ත පද්ධති යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වූ බව AWS සමාගම තහවුරු කර තිබේ.

මීට අමතරව, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් Google, Microsoft, Oracle, Meta සහ Apple වැනි දැවැන්ත ඇමෙරිකානු සමාගම් මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘G42’ කෘත්‍රිම බුද්ධි සමාගමද සිය ඉදිරි ප්‍රහාරක ඉලක්ක ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව ඉරාන මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කර ඇත.

ලන්ඩනයේ කිංග්ස් කොලීජියේ ආරක්ෂක අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඇන්ඩ්‍රියාස් ක්‍රීග් අල් ජසීරා වෙත අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ, දත්ත මධ්‍යස්ථානයක් අක්‍රිය කිරීමට එහි සේවාදායකයන් (servers) සම්පූර්ණයෙන්ම විනාශ කිරීම අවශ්‍ය නොවන බවයි. අඛණ්ඩ විදුලිය, සිසිලන පද්ධති හෝ බාහිර විදුලි සංදේශ සබඳතා බිඳවැටීමකින් මුළු මධ්‍යස්ථානයම එකවර අඩපණ කළ හැකිය.

“ඉරානය සිදු කරන්නේ තවත් එක් ඉලක්කයකට තර්ජනය කිරීම පමණක් නොවේ. ගල්ෆ් කලාපයේ අනාගත ආර්ථිකය හා බැඳුණු නවීන තාක්ෂණය, ඇමෙරිකානු තාක්ෂණික බලය සමග සෘජුව ගැටගැසී ඇති බව හඳුනාගෙන ඊට පහර දීමටයි ඔවුන් සැරසෙන්නේ,” යැයි ක්‍රීග් පවසයි. සාපේක්ෂව ඉතා අඩු වියදමකින් නිපදවන ඩ්‍රෝන යානා මගින් ඩොලර් බිලියන ගණනක වටිනාකමකින් යුත් යටිතල පහසුකම් අවදානමට ලක් කිරීමේ හැකියාව ඉරානය සතුය. මෙහි මූලික අරමුණ වන්නේ ඇමෙරිකාවට පහසුකම් සපයන රියාද්, අබුඩාබි සහ දෝහා වැනි ගල්ෆ් අගනුවරවල් වෙත අනතුරු අඟවා ඔවුන් මෙල්ල කර තබා ගැනීමයි.

ඛනිජ තෙල් මත යැපෙන ආර්ථිකයෙන් මිදී කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ගල්ෆ් රටවල් මේ වන විට දැවැන්ත ආයෝජන සිදු කරමින් සිටී. එක්සත් අරාබි එමීර් රාජ්‍යය OpenAI සහ Nvidia සමාගම් සමග එක්ව දැවැන්ත AI ව්‍යාපෘති දියත් කර ඇති අතර, සෞදි අරාබියේ රාජ්‍ය ආයෝජන අරමුදල (PIF) මගින් ‘Humain’ නමින් අරාබි AI ව්‍යාපෘතියක් අරඹා ඇත. මයික්‍රොසොෆ්ට් සමාගමද කලාපයේ ඩිජිටල් ආරක්ෂාව වෙනුවෙන් ඩොලර් බිලියන 10 කට අධික ආයෝජනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

කෙසේ වෙතත්, උද්ගතව ඇති යුද අවදානම හමුවේ රතු මුහුද මඟහැර ඉරාකය හරහා තුර්කියට සහ යුරෝපයට දත්ත රැගෙන යා හැකි විකල්ප ගොඩබිම් කේබල් මාර්ග කෙරෙහි අවධානය යොමුවෙමින් පවතී. කටාර්හි ‘Ooredoo’ සමාගම මේ වන විටත් ඉරාකය හරහා නව සන්නිවේදන මාර්ගයක් සැකසීමට ගිවිසුම්ගත වී ඇති අතර, Google සහ Meta සමාගම්ද සිය දත්ත ගමනාගමනයෙන් කොටසක් ඉරාකය හරහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. එහෙත් එම විකල්ප මාර්ග සඳහා අතිවිශාල වියදමක් දැරීමට සිදුවීම මෙන්ම ඒවා තවමත් ඉදිකිරීම් මට්ටමේ පැවතීම කලාපයේ තාක්ෂණික ක්ෂේත්‍රය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය බව විශේෂඥයෝ පෙන්වා දෙති.

Related posts

අපි කොරෝනාව යටත් කර ගත්තා.. දැන් අපේ පාලනයේ.. සහාය වූ සැමට ජනපති තුති පුදයි..

Maimoonar

තවත් ගෑස් පිපිරුමක්..

Maimoonar

6 වසර පෙළ පොතක අඩංගු වූ වෙබ් අඩවි ලිපිනයක් සම්බන්ධයෙන් මතුව ඇති දැඩි මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා සිය විවේචනය එල්ල කර තිබේ. 

Maimoonar