Local News News

සමාජ ජලා මතට VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..

තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්, ඩිජිටල් නිර්මාණකරුවන් තම මැතිවරණ ව්‍යාපාරයට අතිශයින් ම නින්දිත ආකාරයට යොදාගත් මාලිමා ආණ්ඩුව දැන් ඔවුන්ට ම ප්‍රහාරයක් දීමට සූදානම් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ දැවැන්ත සමාගම්වලට ආයතනික බදු ගැසීමක් සිදු කිරීමට බියෙන් සිටින ආණ්ඩුව විසින් නිර්මාණශීලී ප්‍රජාවකට බද්දක් ගසා ඇති බව ය. හරිත බලශක්ති ක්ෂේත්‍රය විනාශ කර ඩීසල් මාෆියාව සමග අත්වැල් බැඳගෙන සිටින ආණ්ඩුව, දැන් තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් කර්මාන්තය ද විනාශ කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;

“රජය විසින් පසුගියදා ගැසට් නිවේදනයක් මඟින් අපනයන සේවා මත ඔවුන් විසින් පනවන්නට යන බදු පිළිබඳ නිවේදනයක් කරලා තියෙනවා. මෙහිදී මේ බදු ප්‍රතිපත්තියේ අංග දෙකක් තියෙනවා.”

මින් VAT බදු ලෙස අය කර ගැනීමට යෝජනා කර තිබෙන 18% සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ලංකාවට ඩිජිටල් සේවා හා අනෙකුත් එවැනි ඊට අනුශාංගික වූ සේවා සපයන සේවා සපයන ආයතන වෙතින් අය කෙරෙන මෙම බද්ද පිළිබඳ සංවාදය 2023 වසරේ සිට ම පැවති බව ය. ලංකාවට සේවා සපයන දැවැන්ත සමාගම් වන ෆේස්බුක්, යූටියුබ්, ගූගල් වැනි ආයතන වලින් බදු අය කිරීම සම්බන්ධයෙන් ගැටලු පැන නැගී තිබේ. ඊට මූලික හේතුව මෙම සමාගම්වලට ලංකාවේ නියෝජිත ආයතන නොමැති වීම ය. මෙම සමාගම් ලංකාවේ සේවා සපයන නිසා ඔවුන්ගෙන් බද්දක් අය කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වී ඇත. මෙම සමාගම් වලින් VAT බද්ද අය කිරීමට ආසියානු අන්තර්ජාල සංවිධානය එකඟ වී තිබෙන බව ද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ය.

“මෙම VAT බද්ද පාරිභෝගිකයාගෙන් ලබාගෙන ගෙවීමටයි සැලසුම් කරලා තියෙන්නේ.”

“ඊළඟ එක තමයි ආදායම් බද්දක් හැටියට සේවා සපයන්නන්ගෙන් අය කරන්න යන බද්ද. ජනතා විමුක්ති පෙරමුණ/ ජාතික ජන බලවේගය බලයට පැමිණෙනවා. දැන් අද විහිළුවක් වෙලා තියෙන්නේ මේවා ජාතික ජන බලවේගය පැමිණිච්ච අවස්ථාවේ ගහපු ඉංජිනේරු සේවා ප්‍රතිපත්ති ප්‍රකාශන. මේවා ඔක්කොම අද විහිළුවක් වෙලා තියෙන්නේ. හැම අකුරක් පාසාම බොරුවක් කෙබරයක් හා විහිළුවක් බවට පත් වෙච්ච ඒවා තමයි මේවා. මේකේ සඳහන් වෙනවා. ඩිජිටල් සේවා පිළිබඳ කරුණු ගණනාවක්, පළවෙනි එක තමයි, Increase Annual Revenue of IT industry from 1.2 billion to 5 billion by 2030. මේක ඒ අයගේ ඉලක්කයක් නෙමෙයි. මේක තමයි ස්ලස්කොම් එක කාලාන්තරයක් තිස්සේ කියපු කාරණය. ඊළඟට තියෙනවා, Increase the workforce from 85,000 to 150,000 by 2030. මේ තමයි ක්‍රියාවලිය. දැන් මේ කරන්න යන්නේ මොකක්ද? මේ ඉන්න 85,000ටත් ප්‍රහාරයක් දෙන්න තමයි මේ යන්නේ. තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඉතාම නින්දිත විදිහට මේ අය යොදාගෙන, තමන්ගේ රේටිං වැඩි කරගෙන, ඇල්ගොරිදම් වෙනස් කරගෙන, සමාජය තුළ අතිරේක මාතයක් ඇතිකරවගෙන, දැන් කරගෙන යන්නේ.”

ඩිජිටල් නිර්මාණකරුවන්ට නව බදු පැනවීමෙන් ඔවුන්ගේ වර්ධනයට බාධා ඇති වන බව ද, ඔහු පෙන්වා දුන්නේය. මෙම නිර්මාණකරුවන් ස්වයං අධ්‍යාපනයෙන් හා ස්වයං රැකියාවෙන් ඉදිරියට පැමිණි පිරිසක් බවත්, ඔවුන් රටට ඩොලර් උපයා දෙන බවත් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ය. ඔවුන්ට විශ්‍රාම වැටුප් හෝ සේවක අර්ථසාධක අරමුදල් නොමැත. මෙම බදු පැනවීමෙන් සාමාන්‍ය ජනතාවට තවත් බරක් පැටවෙන බවත්, ධන කුවේරයන්ට බදු ගෙවීමෙන් මගහැරීමට රජය ඉඩ සලසන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

“දැන් මොකක්ද මේ නිර්ධන පංති ආණ්ඩුව කරලා තියෙන්නේ? අර දැවැන්ත කම්පැනි වලට කෝපරේට් ටැක්ස් ගහන්න බය වෙලා ඉන්න ආණ්ඩුව මේ සාමාන්‍ය නිර්මාණශීලී ප්‍රජාවකට දැන් බද්ද ගහලා තියෙනවා. මේකම නේද පහුගිය කාලේ සිද්ධ වුණේ? පහුගිය ඔය කියන හැත්තෑ හය අවුරුද්දෙම වුණා කියන්නේ ඕක නේද? සාමාන්‍ය ජනයා මත බදු පිට බදු පැනවීම. ඇත්තටම මේ රජය මේ හරහා තවත් බලගතු ක්ෂේත්‍රයක් විනාශ කිරීම සඳහා අවශ්‍ය පියවර තියලා තියෙනවා. මොවුන් මේ රටේ හරිත බලශක්ති ක්ෂේත්‍රය, සූර්ය සුළං, බලශක්ති ක්ෂේත්‍රය විනාශ කිරීම සඳහා අද ඩීසල් මාෆියාව එක්ක අත්වැල් බැඳගෙන මේ රජය. ඒ හරහා ගොඩනැගිච්ච දැවැන්ත කර්මාන්තය බිඳ වැටිලා ලංකා විදුලිබල මණ්ඩලයට නොමිලේ ලැබිච්ච විදුලි බලය වෙනුවට ඩොලර් වලින් පිටරටින් තෙල් හා ගල් අඟුරු ගේන තත්ත්වයකට පත්කරමින් ඒ කර්මාන්තය විනාශ කරගෙන යනවා. ඒක නවීන කර්මාන්තයක්. හරිත බලශක්තිය කියන්නේ නවීන කර්මාන්තයක්. ඒ නවීන නූතන එකේ කර්මාන්තය විනාශ කරලා තියෙනවා. දැන් අත තියලා තියෙනවා මේ අන්තර්ජාල කර්මාන්ත වලට.”

රටේ ආර්ථිකයේ අනාගතය තාක්ෂණ සේවා තුළින් ගොඩනැගිය යුතු බවත්, රජය ඒ සඳහා උත්තේජනයක් ලබා දිය යුතු බවත් ඔහු අවධාරණය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ධන බද්දක් අය කරන ලෙස යෝජනා කර තිබියදීත්, රජය සාමාන්‍ය ජනතාවට බදු පැනවීම සම්බන්ධයෙන් රජයට චෝදනා කරන රණවක මහතා; විදේශ ගිණුම් හරහා බදු මග හරින අයට බදු පැනවීමට රජය උත්සාහ කරන බවත්, එය හොඳ දෙයක් වුව ද, ප්‍රායෝගික ව එය සාර්ථක වේද යන්න සැක සහිත බවත් පෙන්වා දුන්නේ ය. විදේශවල සිටින ලාංකිකයන්ගෙන් රටට විශාල මුදලක් ලැබෙන බවත්, ඔවුන්ට බදු පැනවීමෙන් එයට බාධා ඇතිවිය හැකි බවත් රණවක මහතාගේ අදහස ය.

දැන් මොකද මේකෙන් වෙන්නේ? මේකෙන් වෙන්නේ දැනට රට ඇතුළේ ක්‍රියාත්මක වෙන උණ්ඩියල්, හවාලා, ක්‍රිප්ටොකරන්සි වැනි දෑ ඉතා ම බලගතු විදිහට මින් ඉදිරියට මේ ධනය උණ්ඩියල් විදිහට, හවාලා විදිහට, එහෙම නැත්නම් ක්‍රිප්ටොකරන්සි විදියට ගෙන්න ගන්න පුළුවන්. ක්‍රිප්ටොකරන්සි භාවිතා කරන අය දන්නවා. Crypto Exchange වලට යන්න ඕනේ නැහැ. P2P ක්‍රමයට හරි, වෙනත් ක්‍රමවේදයකට හරි, ඔවුන්ට පුළුවන් ඔවුන් උත්පාදනය කරන ධනය ගෙනියන්න. අර ක්‍රිප්ටෝ අවකාශයට ගෙනිහිල්ලා, ලංකාවේ බදු දැලෙන් මිදෙන්න. මම මේ ටික කිව්වේ මොකද, අපි මේක පාර්ලිමේන්තුවේ අපරිමිතව සාකච්ඡා කරලා තියෙනවා. කණගාටුවට කාරණාව. පාර්ලිමේන්තුවේ සාකච්ඡා සභාවල කවදාකවත් මේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ හිටියේ නෑ. මේවා අවශෝෂණය කරගත්තේ නෑ. ඒ වගේම අපි විශ්වාස කරන්නෑ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කිසිම යාන්ත්‍රණයක් තියෙනවා කියලා මේක කරන්න. මොකද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇවිල්ලා කිව්වේ මේ වගේ දේවල් ඔවුන්ට කරගන්න බෑ කියලා. ඇත්තටම දේශීය අපේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පමණක් නෙවෙයි. වෙනත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටත් ලෝකයේ මෙවැනි දෑ කර ගැනීමේ අපහසුතාවයන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා නවීන ක්‍රමෝපායයන්වලින් තොරව මේ කරන ක්‍රියාවලියෙන් වෙන්නේ මොකක්ද? සම්පූර්ණයෙන්ම රට ඇතුලේ ඩොලර් නීති විරෝධී සංසරණය ඉදිරියට යන එකයි.

කම්කරු පන්තියේ පක්ෂයක් කළ යුතු දේ නෙමෙයි මේ කරලා තියෙන්නේ. සාමාන්‍ය වැඩ කරන ජනතාවගේ වෙනත් ක්ෂේත්‍රයක නිර්මාණශීලී පිරිසකට පහර දීලා වැඩෙමින් තිබිච්ච අයිතීන් පද්ධතිය සම්පූර්ණයෙන්ම රටින් පලවා හරින වැඩසටහනක් බවට පත් කිරීම තමයි මේ කරලා තියෙන්නේ.”

මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක මහතා;

ප්‍රශ්නය: අපි සොයපු විදියට තොරතුරු වාර්තා වුණේ මූලික 150,000ට මේ බද්ද අයත් වෙන්නේ නෑ කියලා. ඊට පස්සෙත් යම් මුදලකට 6%ක් වැනි ප්‍රමාණයක් තමයි ඒ බද්ද අය කරන්නේ කියලා.?

පිළිතුර: දැනට ගැසට් නිවේදනයේ දැන් මේක ආදායමක්නේ. මේකෙන් හොයන්නේ ඩොලර් ආදායමක්. එතකොට ඒ ඩොලර් ආදායමට ආදායම් බද්දක් හැටියට එනවා නං ඔය ක්‍රමය තමයි තියෙන්නේ. නමුත් ගැසට් නිවේදනයේ බොහොම පැහැදිලිව තියෙන්නේ 15% කතාව. හැබැයි පළවෙනි 150,000 නිදහස් කරන්න ඕන රටේ තියෙන අනික් නීති අනුකූලව. ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නය. මේ ක්‍රියාවලිය හරහා නතර කරන්නේ රුපියල් සත නෙවෙයි. මේ නතර කරන්නේ ඩොලර්. ඩොලර් ආදායම් බදු දෙපාර්තමේන්තුව හරහා නොවන වෙනත් මාවත් වලින් ගෙනියන්න පුළුවන් ක්‍රමවේද ඕන තරම් තියෙනවා. ඒවා නතර කිරීමේ යාන්ත්‍රණයක් රජයට නෑ. ඉතින් ඒක නිසා මේකෙන් වෙන්නේ විශාල පිරිසක් රටේ අර අවතාර ආර්ථිකයට, කළු ආර්ථිකයට තල්ලු කරලා දාන එක. ඒක තමයි මේ වෙන්නේ. ඒ වගේම කීය හරි මේක හරහා ලැබුණා නම්, මම දන්නේ නැහැ ඇත්තටම මේ සේවා හරහා ඩොලර් මිලියන කීයක් ලංකාවට ලැබෙමින් තිබුණද කියලා. අයි ටී ව්‍යාපාරයෙන් නම් බිලියන 1.2ක් – 1.3ක්. පමණ ලැබෙමින් තිබුණා. ඒකට එකෙන් සැලසුමක් හැදුවා බිලියන 5ක් දක්වා ගෙනියන්න. ඒක ක්‍රියාත්මක කරනවයි කියලා මේක නිකුත් කරපු දවසේ, අනුර දිසානායක ජනාධිපති අපේක්ෂකතුමා කිව්වා. නමුත් දැන් සම්පූර්ණයෙන් වෙනස් ක්‍රියාදාමයක් තමයි කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔය හුඟාක් බදු ගැන වැටුප් වර්ධනය ගැන මේවා ගැන දැන ගන්න වෙන්නේ බොහෝ විට මේවා ප්‍රායෝගික ව ක්‍රියාත්මක වෙන අවස්ථාවේ තමයි. දැනට බදු වර්ග දෙකක් නිශ්චිතව ඇවිල්ලා තියෙනවා. අපි දන්නෑ වැට් බද්ද ගෙවන්න යන්නේ ඒගොල්ලන්ගේ අතින්ද? එහෙම නැත්නම් පාරිභෝගිකයන්ගේ අතින්ද කියලා. අනිත් පැත්තට, ඒ කියන්නේ ලංකාවෙන් පිටතට යන සේවාවන් වලට කොහොමද මේක බලපාන්නේ. සමහරු කියනවා මේක විතරයි. එහෙම නැත්නම් මේක ස්ථාවර කොන්ත්‍රාත් තියෙන අයට අයිති නෑ කියලා. මොන තර්ක ගත්තත් අපි දන්නෑ කොහොමද අයි. ආර්. ඩී. එක ක්‍රියාත්මක වෙන්න යන්නේ කියලා. බොහෝ විට අයවැයෙන් පස්සේ අයවැය සම්මත වුණාට පස්සේ නිශ්චිත නිල නිවේදන එයි. මොකද එතකොට අපිට දැනගන්න පුළුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉලක්කයක් දෙනවනේ. මෙන්න මෙච්චර බිලියන ගාණක් හොයන්න කියලා. ඒක ඇතුලේ මේක කොච්චරද කියලා අපිට දැනගන්න පුළුවන්. ඒක කොහොමද හොයන්නේ කියන එක අපිට දැනගන්න පුළුවන්. දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෝ රේගු දෙපාර්තමේන්තුවට සුරාබදු එකට නම් දීලා තියෙනවා. මේ දෙකට ඉලක්ක දීලා නැහැ. මෙන්න මේ ක්ෂේත්‍රවලින් මෙන්න මේ ප්‍රමාණය එන්න ඕන කියලා. ඒ නිසා වාහන ආනයනයෙන් අපි කොච්චර බලාපොරොත්තු වෙනව ද බදු. ඒවා කිසිවක් ගැන කියන්න බැහැ මේ මොහොතේ. ඒක තාම මුදල් අමාත්‍යාංශය විතරයි දන්නේ. නමුත් අයවැය අවසන් වූ වහාම ඒ ඉලක්ක දුන්නට පස්සේ තමයි මේ කාරණය අපට පැහැදිලි වෙන්නේ. කොහොමද ඒක ළඟා කර ගන්නේ කියලා.

ප්‍රශ්නය : යම් කෙනෙක් කිව්වොත් අපි රුපියල් වලින් හම්බ කරන අපි බදු ගෙවන කොට ඇයි මේ 15%ක් ඩොලර් වලින් උපයන අයට බදු ගෙවන්න බැරි කියලා. ඒක තමයි ආණ්ඩුවේ තර්කය. මේ වැඩ කරන අයව හඳුනාගන්න, ආණ්ඩුවට හෝ මේ ආයතනවල ක්‍රමවේදයක් තියෙනවද?

පිළිතුර : අනිවාර්යෙන්ම දැන් සිද්ධ වෙනවනේ. බැංකු ගිණුම් හරහා මේගොල්ලන්ව ලියාපදිංචි කරන්න. වෙනම අරින්න, ඒ ඔක්කොම ඒ ක්‍රියාවලිය, එක පටන් ගන්න එපැයි. මම දන්නේ නැහැ මේ පලවෙනි මාස අටේ කොච්චර දුරට කරගන්න පුළුවන් වෙයිද කියලා අප්‍රේල් ඉඳන්. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සිද්ධවෙනවා අනිවාර්යයෙන්ම, මේගොල්ලන්ව රෙජිස්ටර් කරන්න. ඉතින් ඒක හින්දා, දැන් අර ඇපිට් එක වෙලාවෙත් උනේ ඒකයි පළවෙනි මාසේ ගෙව්වා. හැබැයි ඊළඟ මාසේ වෙනකොට සැලකිය යුතු පිරිසක් තමන්ගේ ගිණුම් විදේශ වලට මාරු කරගත්තා. ස්ථාවර රැකියා, කොන්ත්‍රාත් රැකියා බවට පත්කර ගත්තා. ගෙවීම එහෙම්මමයි. කරලා මග ඇරියා. මොකද මේ ක්ෂේත්‍රයේ නියැලිලා ඉන්න අය දන්නවා අන්තර්ජාතික මුදල් සේවා කොහොමද හැසිරෙන්නේ කියලා. ඒක මේ ආණ්ඩුවේ ඉන්න ඇතැම් දේශපාලන නායකයින්ට ඒ දැනුම නැති බව පැහැදිලියි. එතකොට ඒ දැනුම මේ කට්ටියට තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ එක්ක එකට මේක කරනවා වෙන ක්‍රමයක් නෑ. ඇත්තටම අර එක ආසියානු අන්තර්ජාතික Alliance එක එක්ක ආණ්ඩුව කතා කරන්න තිබුණේ ඒගොල්ලන්ගේ Corporate Tax එකක් කොහොමද අපි ගන්නේ කියන එක ගැන. දැන් ඉන්දියාව ඒක කරලා තියෙනවා. කියන්න ඕනේ ඒ සඳහා වූ මල්ටිලැටරල් කෝලීෂන් එකට සම්බන්ධ වෙච්ච නැති රටවල් හයයි ලෝකේ තියෙන්නේ. එකක් ලංකාව. එතකොට ලංකාව ඒකට බන්දලා, අන්න එහෙම සාකච්ඡාවක් කරන්න ඕනෙ. ඒකනේ මේ ප්‍රගතිශීලි කම්කරු පන්ති ආණ්ඩුවක කටයුත්ත වෙන්න ඕනේ මේ ඔය වගේ දැවැන්ත සමාගම් වලින් බදු අය කරගන්න. නේද? ඒ වෙනුවට මේ ඒවයින් සේවා ගන්න, ඒවයින් යම්කිසි වින්දනයක් ලබන, ඒවා පරිභෝජනය කරන පිරිස් වලට ගහන්නනේ මේ යන්නේ. ඒ ආත්ම ශක්තිය නැහැ.

ප්‍රශ්නය : එතකොට යම්කිසි විදිහකින් දැන් මේ මහා පරිමාණ විදිහේ ව්‍යාපෘති, කර්මාන්ත කරන අය, රටින් පිටවුණොත්, වෙනත් රටවල් වලට යනවා කියලා.

පිළිතුර: අද ඇවිල්ලා ඒවා ලොකු දේවල් නෙමෙයිනේ. ඩුබායි වල විතරක් අපේ සමාගම් දහස් ගණන් ලියාපදිංචි කරලා තියෙනවා. අර අර්බුද කාලේ ගිය අය. තව දහස් ගාණක් ලියාපදිංචි වෙයි. එතකොට ලියාපදිංචි කරලා සේවා ඒ හරහා කරයි. ඒ වගේම ඔය වැඩේ ආවට පස්සේ ඕවටම ඒජන්තවරු බිහිවෙයි. ඒ කියන්නේ සමාගම් ලියාපදිංචි කරන්න, ඕවට ලේකම් කාර්යාල දාන්න, සල්ලි ගෙනියන්න, භාර කරන්න නේද? ඕන තරම් ඕවටම ඒජන්තයෝ ඉන්නවා. අද ලංකාවේ සල්ලි එහා මෙහා කිරීම සඳහා විශ්වසනීය ව ලෝකේ ඕනෑම හතර කොනේ තියෙන රටකට සල්ලි ගෙනියන්න පුළුවන් විදිහේ දස දහස් ගාණක තියෙනවා. ඒවා ඉතින් නවත්තන්න නම් මේ හැම Money Exchange එකක් ම ඔය තියෙනවනේ. කොටුවේ ඉඳන් වැල්ලවත්ත දෙසට තියෙන හැම එකක් ම මීගමුව දෙසට තියෙන හැම එකක් ම එනම් තමන්ගේ පාලනය යටතට ගන්න ඕනේ. අරගෙන Exchange Control කරන්න ඕනෙ. ඒක වෙනම කතාවක්. ඉතින් එහෙම මුකුත් වැඩසටහනක්, වැඩපිළිවෙලක් නැතුව අයාලේ ගහපු ගැහිල්ලක් තමයි මේක.

ප්‍රශ්නය: ඔබතුමන්ලාගේ ආණ්ඩුවක් තිබුණා නම්, ඔබතුමන්ලා මේ හා මේ සම්බන්ධ කාරණාව ගැන මොනවගේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන්නේ. සහ Cryptocurrency ගැන මොකක්ද ඔබතුමාගේ අදහස?

පිළිතුර: Cryptocurrency මේ ලෝකේ තියෙන දෙයක්නේ. මම බොහොම පැහැදිලිව කියනවා. අපට බලයක් තියෙන රජයක අපි අනිවාර්යෙන් ම Corporate Gientලා එක්ක කතා කරනවා. ලංකාවේ Register කරන්න කියලා. ඒගොල්ලන්ගේ ඒ Register කරලා, ඒ හරහා ලංකාවේ බදුවලට, ඇතුල් වෙන්න කියලා. ඒක කියන්න මේ රජය බයයි. මොකද මේ ජාවාරම්කාර පන්තියේ ආණ්ඩුවක් මේක තියෙන්නේ. පිටින් මොන කතා පැවැත්තුවත්. දැන් Cryptocurrency ලෝකේ තියෙන දෙයක්. ඒක ඒක ගැන හොඳ නරක ගොඩක් දෙනෙක් කතා කරලා තියෙනවා. නමුත් අද ලෝකයේ Virtual Currency එකක් හැටියට ඒක පවතිනවා. ලංකාව ඇතුලේ Crypto Agency එකක් දාන්නත් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා වරාය නගරයේ. හැබැයි හොඳ Regulatory Framework එකක් අපිට නැතුව, එහෙම නැත්නම් නියාමන ක්‍රියාවලියකින් තොරව ඔය අද කැසිනෝ පවත්වගෙන යනවා වගේ කළොත් එහෙම ඒක ඉතාම බරපතල ප්‍රශ්නයක් වෙනවා. නමුත් අද ලංකාවේ බොහෝ දෙනෙක් ඉතාම නිර්මාණශීලී අය මේ Cryptocurrency ලෝකෙට ඇතුල් වෙලා ඒ Bitcoin Business කරනවා. එතනින් ධනය උත්පාදනය කරනවා. සමහරු Bitcoin Mining කරනවා. ඉතින් මේවට විශාල බල ශක්තියක් වැය වෙනවා. එහෙම බලශක්තියක් සපයන්න තරම් තත්වෙක ලංකාව අද නැහැ. එක්සත් ජනපදයටත් දැන් සිද්ධ වෙනවා ඊළඟ අවුරුදු දහයේ තමන්ගේ බලශක්ති 40%කින් වැඩි කරගන්න මේ ක්ෂේත්‍රය ආවරණය කරගන්න. ඉතින් අපිට ඒ වගේ සාමූහික වැඩපිළිවෙළක් අවශ් යයි. නිකන් Cryptocurrency Cryptocurrency කියලා වැඩක් නැහැ. ඒවට කොහෙන්ද බලය සපයන්නේ? ඒ මධ්‍යස්ථාන කොහෙද පිහිටුවන්නේ? ඒ ක්‍රියාවලිය කොහොමද කරන්නේ? ඒ කොහොමද පවත්ව ගන්නේ? ඒවයි නියාමනය මොකක්ද? දැන් අපේ කැසිනෝ පද්ධතියේ නියාමන පනත අනිවාර්යයෙන් ගෙනෙල්ලා ඒක නියාමනය කරන්න.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා;

“මෙම ආණ්ඩුව බලයට පැමිණීමේ දී මේ රටේ විශේෂයෙන් තරුණ නිර්මාණශීලී ප්‍රජාවගේ ආදායම් තත්ත්වය වැඩි කිරීමත්, රටේ විදේශ විනිමය වර්ධනය කිරීමටත්, කතා කරපු දෙයක් තමයි තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් රටට ඉලක්කයක් දෙන්න ඒ ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දී කිව්වා ලක්ෂ දෙකක් පමණ පිරිසක් මේ ක්ෂේත්‍රයේ සේවයේ නියැළෙනවා. ඉදිරි අවුරුදු කිහිපය තුළ ඩොලර් බිලියන පහක ආදායමක් රටට ගේන්න සැලසුම් කරනවා කියලා. නමුත් කණගාටුවට කරුණ මේ අයවැයේදී මේ ආණ්ඩුව ඒ තමන්ගේ ප්‍රතිපත්ති පසෙකලා අයවැයෙන් 15%ක බදු පැනවීමක් මේ අපනයන සේවා බද්ද හැටියට පනවලා තියෙනවා. විශේෂයෙන් විදේශීය රටක පරිභෝජනය කරන සේවාවන් සඳහා මෙරට සිට සපයන සේවාවන් සඳහා ඒ සේවාවන්ගෙන් ලැබෙන ලාභයෙන් 15%ක බද්දක් මේ ආකාරයෙන් අය කිරීමට සැලසුම් කරලා තියෙන්නේ. ලබන අප්‍රේල් පළවෙනිදා සිට මේ බදු අය කිරීම ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒක ප්‍රායෝගිකව කොයි ආකාරයෙන් සිදු කරනවා ද කියන එක ගැන යම් යම් මතභේද තිබෙනවා. ඇත්ත වශයෙන්ම රටක් හැටියට විශේෂයෙන් අධ්‍යාපනය තුළින් තොරතුරු තාක්ෂණයෙන් ඉහළ සාක්ෂරතාවක් තියෙන රටක් හැටියට අපිට මේ බද්ද කොහොමද බලපාන්නේ. අද වෙනකොටත් විශාල පිරිසක් තොරතුරු තාක්ෂණයෙන්, ඩිජිටල් තාක්ෂණය යොදාගෙන විවිධ සේවාවන් විදේශීය රටවලට සිදුකරනවා. විශේෂයෙන් සමාගම් හැටියටත් තනි පුද්ගලයින් හැටියටත් මේ සේවාව සිදු කරමින් පවතිනවා. ඒ නිසා මේ බදු ඇත්ත වශයෙන් ම අතහිත දිය යුතු, නගා සිටවිය යුතු ක්ෂේත්‍රයකට මෙහි බලපෑම කවරාකාර විය හැකිද? එයින් සිදුවිය හැකි බලපෑම කුමක්ද? ඒ විශේෂයෙන් බංකොලොත් රටක් හැටියට, අපිට විදේශ විනිමය ලබා ගැනීම, සපුරා ගැනීම අවශ්‍ය වෙනවා. එතකොට ඒ විදේශ විනිමය රටට ගලා ඒමේ දී මෙය කොයි ආකාරයෙන් බාධාවක් බවට පත්වේ ද? ඒ මුදල් නිසි පරිදි ලංකාව වෙත ඉදිරියේදී ලැබෙයි ද කියන වගේ බලගතු ප්‍රශ්න රැසක් මතු වෙමින් පවතිනවා.”

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ පළාත් පාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් තරිඳු දිලීප ගමගේ, මධ්‍යම කාරක සභිකයින් වන ප්‍රණාම රොද්‍රිගෝ සහ චමුද ප්‍රනාන්දු යන මහත්වරුන් ද, එක් ව සිටිය හ.

– Media unit

Related posts

කොළඹ-ගම්පහ-කළුතර අවදානම්

Shiran Viraj

විලියම් කුමරු ක්‍රයිස්චර්ච් මුස්ලිම් දේවස්ථානයට යයි

Shiran Viraj

ආණ්ඩුවේ ඉන්නවානම් ජනාධිපතිට ආණ්ඩුවට උදවු කරන්න.. නැත්නම් යන්න..- සෙසු පක්‍ෂවට දන්වයි..

Shiran Viraj

1 comment

Comments are closed.