32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි

දිනකට රෝගීන් දෙසීයකට අධික පිරිසක් ප්‍රතිකාර ලබන කිරින්ද ප්‍රාදේශීය රෝහල, වෛද්‍යවරුන්ගේ උග්‍ර හිඟය හේතුවෙන් වසා දැමීමේ බරපතළ අවදානමකට ලක්ව ඇති බව කිරින්ද – පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සුගත් සමරසිංහ මහතා පවසයි. ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේදී අදහස් දක්වමින් සභාපතිවරයා අවධාරණය කළේ කිරින්ද – පුහුල්වැල්ල, හක්මන, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් විශාල ජනතාවක් සිය දෛනික සහ සායනික ප්‍රතිකාර සඳහා මෙම රෝහල මත පදනම් වන බවයි.

රෝහලේ වත්මන් තත්ත්වය විස්තර කරමින් සභාපතිවරයා සඳහන් කළේ එහි සේවය කළ යුතු වෛද්‍යවරුන් තිදෙනාගෙන් එක් අයෙකු මේ වන විටත් විශ්‍රාම පූර්ව නිවාඩු ලබා සිටින බවයි. තවත් වෛද්‍යවරයෙකු වැඩිදුර පුහුණුව සඳහා විදේශගත වීමට හෝ උසස් අධ්‍යාපනයට පිටත්ව යාමට නියමිතව ඇති බැවින්, ඉදිරියේදී රෝහලේ සම්පූර්ණ සේවාව පවත්වාගෙන යාමට ඉතිරි වන්නේ එක් වෛද්‍යවරයෙකු පමණි. විශාල රෝගීන් සංඛ්‍යාවක් පැමිණෙන රෝහලක් එක් වෛද්‍යවරයෙකු යටතේ පවත්වාගෙන යාම ප්‍රායෝගිකව කළ නොහැකි බව ඔහු පෙන්වා දෙයි.

මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව දිස්ත්‍රික් සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ඇතුළු බලධාරීන් දැනුවත් කර ඇති බවත්, ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සුරක්ෂිත කිරීම සඳහා කඩිනමින් නව වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමට පියවර ගන්නා ලෙසත් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි. බලධාරීන්ගේ නිසි මැදිහත් වීමක් නොවන්නේ නම් ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයට පත්වනු ඇති බව ඔහුගේ අදහසයි.

Related posts

20 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්

Maimoonar

ගුවන් තොටුපලේ ප‍්‍රභූ පර්යන්ත වසා දමති.. VIPලා සාමාන්‍ය ජනතාව සමග පෝලිමට දමති..

Maimoonar

අපි හරිම කණගාටුවෙන් ඉන්නේ…- ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කලකිරීමෙන්..

Maimoonar