28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා ආරක්ෂක නිලධාරිනියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ නිලධාරියා ඇප මත මුදාහැරේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයේ නියුතු පෞද්ගලික ආරක්ෂක සේවයට අයත් කාන්තා ආරක්ෂක නිලධාරිනියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ ආරක්ෂක පරීක්ෂකවරයෙකු ඇප මත මුදාහැරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට පේරාදෙණිය පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය විමර්ශන පවත්වමින් සිටියදී, ඔහු පසුගිය 22 වනදා නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු මෙලෙස රුපියල් ලක්ෂ දෙකක පුද්ගලික ඇපයක් මත මුදාහැර ඇත.

අදාළ කාන්තා නිලධාරිනිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ, මෙම ආරක්ෂක පරීක්ෂකවරයා සිය නිල බලය භාවිත කරමින් තමන්ව අනියම් ලිංගික සබඳතා සඳහා පොළඹවා ගැනීමට උත්සාහ කළ බවයි. තමන් ඊට අකමැති වූ බැවින් ඔහු විවිධ පළිගැනීම් සිදු කළ බවත්, අවසානයේ ඔහුගේ බලපෑම මත තමන්ගේ රැකියාව ද අහිමි කළ බවත් ඇය පෙන්වා දී තිබේ. තවද, මෙම නිලධාරියා තවත් කාන්තා නිලධාරිනියන් කිහිපදෙනෙකුටම මෙලෙස අතවර කර ඇති බවත්, එම හේතුවෙන් ඔවුන් රැකියාව හැරගොස් ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

විමර්ශනවලට අනුව පොලිසිය විසින් 2025 ජූනි 12 වන දින මොහුට එරෙහිව නඩු පවරා තිබූ අතර, ලලිත් වීරසිංහ නමැති මෙම සැකකරුට දින තුනක් ඇතුළත පොලිසියට ඉදිරිපත් වී ප්‍රකාශයක් ලබා දෙන ලෙස අධිකරණය නියෝග කළේය. නඩුව නැවත 2026 මාර්තු 26 වන දින කැඳවීමට නියමිතය.

Related posts

“කෝවිඩ් අවදානම ගැන අපි කළින් ඉඳන් කිව්වා – අපේ උපදෙස් බොහෝ දෙනා අමතක කළා” – වෛද්‍ය නවීන් ද සොයිසා (Video)

Maimoonar

ට්‍රම්ප්ගෙන් ලොව කුඩා රටවල් 150කට සමාන තීරු බද්දක් පනවීමට සැලසුමක්

Maimoonar

කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..

Maimoonar