29.5 C
Colombo
October 1, 2026
NewsPolitical

ජනපතිගෙන් රේගුවට රතු එළියක්

මෙම වසරේ පළමු කාර්තුවට පෙර ශී‍්‍ර ලංකා රේගු දෙපාර්තමේන්තුව ධනාත්මක පරිවර්තනයකට ලක් කිරීමට කැප වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියළු රේගු සේවකයින් වෙත උපදෙස් ලබාදී තිබෙනවා. එසේ නොවුණහොත් වෙනත් විකල්ප ප‍්‍රතිසංවිධාන කි‍්‍රයාමාර්ග ගැනීමට අකමැත්තෙන් වුව ද ජනාධිපතිවරයාට සිදුවනු ඇති බවයි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින් රේගු දෙපාර්තමේන්තුවේ සියළු සේවකයින් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ. 

එබැවින් දුෂණ හා අක‍්‍රමිකතාවලින් තොර ආනයන අපනයන වෙළඳාම කාර්යක්ෂම ලෙස කි‍්‍රයාත්මක කළ හැකි මෙන්ම රාජ්‍ය ආදායම් හා නියාමන කි‍්‍රයාවලීන් ඵලදායී ලෙස ඉටු කළ හැකි පරිදි සමස්ත රේගු කාර්ය මණ්ඩලය, අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග කටයුතු කළ යුතුව ඇති බවයි ජනාධිපති ලේකම්වරයා යොමු කළ ලිපියේ දක්වා ඇත්තේ. 

අපනයන හා ආනයන ක්ෂේත‍්‍රවලට සම්බන්ධ වන විවිධ පිරිස්, ප‍්‍රතිපත්ති සම්පාදකයින් හා විගණන නිරීක්ෂණවලින් ද මතු කරනු ලබන කරුණු තුළින් ශී‍්‍ර ලංකා රේගුව පිළිබඳ දැඩි අප‍්‍රසාදයක් හා කලකිරීමක් ඇති බව නිරීක්ෂණය වන බවයි ජනාධිපති ලේකම්වරයා පවසන්නේ. 

ඇතැම් ව්‍යාපාරිකයින්, රේගු නිලධාරීන් සම්බන්ධ කරගෙන වංචනික ලෙස සිදු කරනු ලබන ආනයන, අපනයන ගණුදෙණු මෙන්ම පෞද්ගලික බන්ධිත ගුදම් ආශ‍්‍රිතව කෙරෙන ගණුදෙණු පිළිබඳව ද විවිධ චෝදනා එල්ල වී තිබෙනවා. 

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කළ අතර එතැන් සිට කිසියම් ප‍්‍රගතියක් ලබා ඇති නමුත් සමස්ත දෙපාර්තමේන්තුවේ ඇතිවිය යුතුව තිබෙන සාධනීය පරිවර්තනය, අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු එයට කැපවුණු නිලධාරීන් කිහිපදෙනෙකුට පමණක් කළ නොහැකි බව ද එම ලිපියේ සඳහන්. 

මෙම තත්ත්වය තවදුරටත් පවත්වා ගැනීම වගකිව යුතු රජයකට කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි සේ විශ්වාස කරන බවයි ජනාධිපති ලේකම්වරයා යොමු කළ ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

Related posts

මහමාර්ගවල ගමන් ගන්නා සියලු දෙනාට අද සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි

Maimoonar

කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක‍්‍රියාවක්..- මංගල

Maimoonar

ඡන්දය දමන අවස්ථාවට ජංගම දුරකතන ගෙන යාම තහනම්…

Maimoonar

1 comment

Comments are closed.