වෙළඳපොළ තුළ සංසරණය වන කටකතා අසත්‍ය බව තහවුරු කරමින්, සිමෙන්ති මිල ඉහළ ගොස් නොමැති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මහජනතාවට සහතික වෙයි. සිමෙන්ති මිල ඉහළ ගොස් ඇති බවට පළවන සියලුම වාර්තා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව හෙතෙම අවධාරණය කළේය.
සිමෙන්ති මිල ගණන් පිළිබඳව පැහැදිලි කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැහැදිලි කළේ, සිමෙන්ති කොට්ටයක් සඳහා වන උපරිම සිල්ලර මිල (Maximum Retail Price) රුපියල් 2,400ක් ලෙස නියම කර තිබුණද, වත්මන් වෙළඳපොළ තුළ කිසිදු සිල්ලර වෙළඳසැලකින් එම උපරිම මිලට සිමෙන්ති අලෙවි නොකරන බවයි.
සමාගම් විසින් ලබාදෙන විවිධ ප්‍රවර්ධන වට්ටම් (promotional discounts) හේතුවෙන් දැනට වෙළඳපොළේ සිමෙන්ති කොට්ටයක සාමාන්‍ය මිල රුපියල් 1,700ත් 2,100ත් අතර මට්ටමක පවතින බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. මෙම මිල ගණන් මඟින් පෙන්නුම් කරන්නේ වෙළඳපොළ තරගකාරීත්වය මිස කිසිදු මිල ඉහළ දැමීමක් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.
සමාගම් අභ්‍යන්තරයේ පවතින ගැටලු පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, බෙදාහරින්නන් සඳහා වන අලෙවි කොමිස් මුදල් (sales commissions) අඩු කිරීමක් සිදුවී ඇත්නම්, එම ගැටලු අදාළ පාර්ශ්වයන් අතර සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු අතර, එහි බර පාරිභෝගිකයන් පිට පටවන නොහැකි බවයි.
තවද, සිමෙන්ති මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජය හෝ අදාළ සමාගම් කිසිදු සාකච්ඡාවක් හෝ තීරණයක් ගෙන නොමැති බව හෙතෙම තහවුරු කළේය. කිසිදු සත්‍ය පදනමකින් තොර මෙවැනි අසත්‍ය කටකතා පතුරා හරිමින් ඇතැම් පිරිස් මහජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බවට ද අමාත්‍යවරයා මෙහිදී අනතුරු ඇඟවීය.