28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

ජාත්‍යන්තර ඒඩ්ස් දිනය වෙනුවෙන් අගමැතිගෙන් පණිවිඩයක්

අද ජාත්‍යන්තර ඒඩ්ස් දිනයයි.

අද දිනට යෙදී ඇති ජාත්‍යන්තර ඒඩ්ස් දිනය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ස මහතා විසින් පණිවිඩයක් නිකුත් කර තිබේ.

එම පණිවිඩය පහතින්

වර්තමානයේ කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ලොවක් වශයෙන් පීඩා විඳිමින්, ඒ පිළිබඳව පමණක් අවධානය යොමු කර සිටින පසුබිමක වුවද, අද දිනට යෙදී ඇති ජාත්‍යන්තර ඒඩ්ස් දිනය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.

වර්ෂ 1987 දී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහනෙහි මහජන තොරතුරු නිලධාරීන් දෙදෙනෙකු වූ ජේම්ස් ඩබ්. බන් හා තෝමස් නෙට්ටර් වෙත පහළ වූ අදහසකට අනුව ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහන ජාත්‍යන්තර ඒඩ්ස් දිනයක් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව 1988 වර්ෂයේ පටන් සෑම වසරකම දෙසැම්බර් 1 වනදා සැමරෙන ජාත්‍යන්තර ඒඩ්ස් දිනය, එච්.අයි.වී ආසාදනය පැතිරීම නිසා ඇතිවන ඒඩ්ස් වසංගතය පිළිබඳ දැනුවත්කිරීම වෙනුවෙන් වෙන් කර තිබේ. රාජ්‍ය හා සොඛ්‍ය බලධාරීන් විසින් ඒඩ්ස් ආශ්‍රිත මාතෘකා හා බැඳුනු කථා, සමුළු, පාගමන් සංවිධානය කරමින් ශ්‍රී ලංකාව තුළ ද මෙම දිනය සමරති.

2020 ලෝක ඒඩ්ස් දිනයේ තේමාව වී ඇත්තේ “එච්.අයි.වී වසංගතය අවසන් කිරීම, ඔරොත්තු දීමේ හැකියාව සහ බලපෑම අවම කිරීම යන්නයි”. ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක යටතේ 2030 දී ලෝකයෙන් ම ඒඩ්ස් තුරන් කිරීම අරමුණ වී තිබේ. ඒ අනුව වසර 2025 වනවිට මෙරටින් ඒඩ්ස් රෝගය තුරන් කිරීමේ ඉලක්කයට ගමන් කරමින් සිටියි. ඊට අවශ්‍ය සැළසුම් සකස් කර ඇති නමුත් සැළසුම් සකස් කළ පමණින් ඒඩ්ස් තුරන් කළ නොහැකි අතර, ඊට අවශ්‍ය ශක්තිය මානව ප්‍රජාව විසින් ලබාදිය යුතු බව සිහිපත් කරමි. එය මුලු මහත් මානව ප්‍රජාවගේම වගකීමකි. එම වගකීම ඉටුකිරීමට අප විවාදයකින් තොරව බැදී සිටිය යුතුය.

ලෝකයේ සමස්ත එච්.අයි.වී. ආසාදිතයන් මේ වන විට මිලියන 37 ඉක්මවයි. වසරකට මිලියන 1.7ක් එච්.අයි.වී. නව ආසාදිතයන් බවට පත්වන අතර ශ්‍රී ලංකාව තුළ එය ප්‍රතිශතයක් ලෙස සියයට එකට වඩා අඩු සංඛ්‍යාවකි.

එය එසේ වුවත් ඒඩ්ස් වලට එරෙහිව සටන් කිරීම මෙන්ම ඉන් වැළකීම අපගේ අධිෂ්ඨානය විය යුතු අතර ඒ සඳහා වගකීමෙන් කටයුතු කළ යුතුය.

දැනට එච්.අයි.වී ආසාදනය වී සිටින පුද්ගලයන් සමාජයේ වෙනසකම්වලට ලක්නොවීමටත්, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාරවලට යොමු වන ලෙස දැනුම් දීමත් අප කළ යුතුය.

ඒ නිසා එච්.අයි.වී ආසාදනයට අවශ්‍ය ප්‍රතිකාර නිසි පරිදි ලබාගෙන රෝගය පාලනය කර ගැනීමටත්, ඒඩ්ස් අවදානමෙන් පසුවන සියලු දෙනාම ඒ පිළිබඳව සැලකිලිමත් වීමටත් අද දිනයේ කෙරෙන රජයේ දැනුවත් කිරීම උපයෝගී කරගන්නැයි ඉල්ලා සිටිමි.

Related posts

ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක්

Maimoonar

අවශ්‍ය තැන්වල තැබෑරුම් දාන්න මාලිමා ආණ්ඩුව සහාය දෙනවා..- අනුර

Maimoonar

රටපුරා ඇදිරි නීතිය ලිහිල් කරයි.. රාජ්‍ය හා පෞද්ගලික සේවා අරඹයි..- ජනපති කියයි..

Maimoonar

3 comments

Comments are closed.