NewsPolitical

මගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ ආධාරකරුවන්ට ණය දෙන්නැයි මා කිසි විටෙක බැංකු වලට කියා නෑ…- ජනපති

බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සැකසීම රාජ්‍ය බැංකු සතු වගකීමකි. එය හඳුනාගෙන ආර්ථිකය සක්‍රීය කොට පවත්වා ගැනීමේ ක්‍රමෝපාය ඉදිරියට ගෙන යාම බැංකුවල ප්‍රමුඛ වගකීම බව ජනාධිපතිතුමා කියා සිටී.

ලංකා බැංකුවේ ක්‍රියාකාරිත්වය සමාලෝචනය පිණිස 15 ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ණය සඳහා ඉලක්කම් 02ක පොළියක් අය කිරීමෙන් රටක අපේක්ෂා ඉටු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය තනි ඉලක්කමක පහළ අගයකට ගෙනැවිත් සංවර්ධනයට සහාය වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

තමාගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ උපකාර කළ පිරිසට ණය දෙන ලෙස කිසි විටෙකත් තමා බැංකු වලට කියා නැති බව ජනාධිපතිතුමා සඳහන් කළේය. එහෙත් ගොවියාගේ සිට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට සහ ආයෝජකයන් අපේක්ෂා කරන මූල්‍යමය සහය දීමට රාජ්‍ය බැංකු පෙරමුණ ගත යුතු බව රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

අද පවතින තත්වයට ලෝකයේ කිසිදු රටක් මෙතෙක් මුහුණ දී නැත. ඉන් මිදිය හැක්කේ කෙසේද යන්න පැරණි රටාවෙන් බැහැරව සිතිය යුතුය. වැටී ඇති ආර්ථිකය නගාසිටුවීම සාම්ප්‍රදායික ක්‍රමවේද මගින් පමණක් කළ නොහැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ජනතාව තමාට ලබාදී ඇති බලය ක්‍රියාත්මක කරමින් සමස්ථ රටවැසියාගේ අපේක්ෂා ඉටු කිරීමට පසුබට නොවන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. එය කිසිසේත් දේශපාලනය වෙනුවෙන් නොව රට වෙනුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඊට බාධා කරන්නේ නම් සුදුසු පියවර ගැනීමට පසුබට නොවන බව ද සඳහන් කළේය.

2015ට පෙර 7% ත් 8% ත් අතර පැවති ආර්ථික වර්ධන වේගය 2019 වන විට 2% ටත් වඩා පහත වැටිණ. කොවිඩ් වසංගතයත් සමග බිඳවැටුණු ලෝක ආර්ථිකය හමුවේ එය තවදුරටත් කඩාවැටී ඇත. මේ සියලු කරුණු වටහාගනිමින් රටේ ආර්ථික පුනරුදය සඳහා වෙනුවෙන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහායවීම රාජ්‍ය බැංකු සතු වගකීමක් බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ යන මහත්වරු, අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය
(under the courtesy of lankacnews.com news web)

Related posts

වන රක්‍ෂිතවල ඇති ජනතාවගේ ඉඩම් ජනතාවටම ආපසු දෙනවා..

Maimoonar

ජනතාව වෛරසයෙන් මිය යමින් සිටින්නේ එන්නත්කරණය නොකල නිසා…

Maimoonar

ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි

Maimoonar

87 comments

Comments are closed.