February 13, 2026
NewsPolitical

විශ්‍රාමික ඉහළ රාජ්‍ය නිලධාරීන්ට වාහන ආනයනයට අවසර දීම පිළිබඳ රජයේ අවධානය

විශ්‍රාම ගැන්වීමේදී සහන පදනම මත වාහන බලපත්‍ර හිමි වූ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සඳහා වාහන ආනයනය කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා 2026 පෙබරවාරි 03 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සහන පදනම මත වාහන බලපත්‍ර ලබාදීමේ ක්‍රමය යටතේ මේ වන විට බලපත්‍ර 1,900 ක් නිකුත් කර ඇති බවයි. මෙම ක්‍රමය නතර කර නොමැති අතර 2025 වසරේදී පමණක් බලපත්‍ර 563 ක් නිකුත් කර තිබේ.

දැනට බලපත්‍ර හිමිව ඇති නිලධාරීන්ට වාහන ආනයනය කිරීමට ඉඩ සැලසීම පිළිබඳව රජය මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේ, අවම වශයෙන් ප්‍රමුඛතා ලේඛනයක් (Priority List) යටතේ හෝ මෙම ඉහළ නිලධාරීන්ට වාහන ආනයනය කිරීමට රජය අවසර දිය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ සාකච්ඡා සාර්ථකව ඉදිරියට යන බවයි. රජයේ මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් එය දීර්ඝ කාලයක සිට පනවා ඇති වාහන ආනයන සීමා ලිහිල් වීමේ තවත් එක් පියවරක් වනු ඇත.

Related posts

සංගක්කාරට ක්‍රිකට් සභාපති පුටුවක්

Maimoonar

රනිල් ධුරයෙන් ඉවතට..? සබ්රි යලිත් මුදල් ඇමති..?

Maimoonar

වසර 16කට ඊයේ හිරේ ගිය SM අදම ඇප ඉල්ලයි.. නිදොස් කර නිදහස් කරන්නැයි අභියාචනයක්…

Maimoonar