February 27, 2026
Local NewsNewsPolitical

වැව් පද්ධතියේ පෞද්ගලික ඉදිකිරීම් ඉවත් කර වැව් සුරක්ෂිත කිරීමට දැඩි පියවර ගන්නා බව අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසයි

ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන දේශගුණ සුහුරුවාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ, එළඟා කළමනාකරණ කමිටුවේ කාර්යභාරය පිළිබඳ අත්පොත එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළේය. එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ පෞද්ගලික සහ දේශපාලන අරමුණු වෙනුවෙන් මෙතෙක් විනාශ කර ඇති වැව් පද්ධතිය යළි සුරක්ෂිත කිරීම සඳහා රජය දැඩි පියවර ගන්නා බවයි. විශේෂයෙන්ම වැව් ඉඩම් ආක්‍රමණය කරමින් ඉදිකර ඇති හෝටල් වැනි පෞද්ගලික ඉදිකිරීම් ඉවත් කිරීමේදී දේශපාලන බලපෑම්වලට ඉඩ නොදෙන බව ඔහු පවසා සිටියේය.

වැව් පද්ධතිය පිළිසකර කිරීමේදී මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ වැව් ඉඩම් තුළ පදිංචි වී සිටින පිරිස් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඇතැම් රාජ්‍ය නිලධාරීන් දේශපාලන බලවතුන්ගේ වුවමනා එපාකම් මත වැව් මායිම් වෙනස් කිරීමට හවුල් වී ඇති බවට චෝදනා කළේය. නීතිය ක්‍රියාත්මක කිරීමට ගියහොත් විවිධ තර්ජනවලට මුහුණ දීමට සිදු විය හැකි වුවත්, වැව් පද්ධතියේ විනාශය දෙස තවදුරටත් බලා සිටිය නොහැකි බව ඔහු අවධාරණය කළේය. වැව් ආරක්ෂා කිරීමේදී තමන් කිසිදු පෞද්ගලික න්‍යාය පත්‍රයකට යටත් නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

අනුරාධපුර ප්‍රදේශයේ හැදී වැඩුණු තමන්ට වැව් සහ මිහින්තලේ වැනි පූජනීය ස්ථාන පිළිබඳව පෞද්ගලික බැඳීමක් ඇති බවත්, එම උරුමය ආරක්ෂා කිරීමට තමන්ට “මිහින්තලේ හාමුදුරුවන්ට වඩා ලොකු අයිතියක්” ඇති බව හැඟෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. වැව් පද්ධතියේ පැවැත්ම තීරණය කරන තීරණාත්මක බලවේගයක් ලෙස එළඟා කළමනාකරණ කමිටුවල වගකීම පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, අනාගත පරපුර වෙනුවෙන් මෙම සම්පත් ආරක්ෂා කිරීමේ වගකීම සියලු නිලධාරීන් සතු වන බවයි.

Related posts

නිවිතිගල සමුපකාර ඡන්දයෙන් සජිත් පිලට දැවැන්ත ජයක්…..

Maimoonar

අම්ෆන් සුළිකුණාටුව දරුණුයි – ශ්‍රී ලාංකික ධීවරයින් 180ක් සමග බෝට්ටු 30ක් අවදානමක

Maimoonar

FB ජනාධිපතිවරණයෙන් අනුර දිනයි.. ප‍්‍රතිශතය 90% ආසන්නයේ…

Maimoonar