January 23, 2026
Local NewsNews

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා උසස් වීම්වලදී තමන්ට අසාධාරණයක් වූ බව දේවානී ජයතිලක පවසයි

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා උසස් වීම් සහ ස්ථාන මාරුවීම් සිදු කිරීමේදී ජේෂ්ඨත්වය නොසලකා හරිමින් තමන්ට දැඩි අසාධාරණයක් සිදු කර ඇති බව ප්‍රසිද්ධ පරිසර ක්‍රියාකාරිනියක සහ වන සංරක්ෂණ නිලධාරිනියක වන දේවානී ජයතිලක මහත්මිය පවසයි. ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ මෙතෙක් කාලයක් නියෝජ්‍ය වන සංරක්ෂක තනතුරු ලබා දීමේදී ජේෂ්ඨත්වය පදනම් කර ගත්තද, මෙවර ජේෂ්ඨත්ව ලේඛනයේ ඉහළින්ම සිටින තමන්ව මඟහැර ඇති බවයි.

තමන්ට වඩා ජේෂ්ඨත්වයෙන් අඩු නිලධාරීන් යොදවා වැඩ බැලීමේ පදනම මත කලාප කාර්යාල පාලනය කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවත්, එමගින් බරපතළ පරිපාලන විෂමතා නිර්මාණය වී ඇති බවත් ඇය අවධාරණය කරයි. විශේෂයෙන්ම තමන් ඉදිරිපත් කළ වාර්ෂික ස්ථාන මාරු ඉල්ලීම් මෙන්ම පසුව ඉදිරිපත් කළ අභියාචනා ද කිසිදු හේතුවක් නොමැතිව ප්‍රතික්ෂේප කර ඇති බවට ඇය චෝදනා කරයි. 2025 දෙසැම්බර් අග වන විට ජේෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටි තමන් හැර අනෙකුත් පිරිසට තනතුරු ලබා දීම හරහා වැරදි පූර්වාදර්ශයක් සපයා ඇති බව දේවානී ජයතිලක මහත්මිය පෙන්වා දෙයි.

තමන් ඉල්ලුම් කළ වයඹ, බස්නාහිර හෝ දකුණු සබරගමුව යන කලාපයන් පමණක් නොව අවම වශයෙන් උතුරු කලාපය හෝ තමන්ට ලබා දීමට වන සංරක්ෂණ බලධාරීන් අපොහොසත් වී ඇති බව ඇය සඳහන් කරයි. 2012 වසරේ සිට විවිධ අවස්ථාවල තමන්ට වඩා ජේෂ්ඨත්වයෙන් අඩු නිලධාරීන් යටතේ සේවය කිරීමට සිදුවීමෙන් තමන් දැඩි මානසික පීඩාවකට ලක්ව ඇති බවත්, මෙවැනි අසාධාරණකම් ඉදිරියේදී වෙනත් කිසිදු නිලධාරියෙකුට සිදු නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ඇය සිය සටහන මගින් වැඩිදුරටත් කියා සිටියි.

Related posts

බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි.. ඇතුළුවීම පිටවීම තහනම් කෙරේ..

Maimoonar

ඒකක 100ට 5900යි.. ඔබේ නව විදුලි ගාස්තුව බලන්න මෙතනින්…

Maimoonar

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 101ක් දක්වා ඉහළට

Maimoonar