26.1 C
Colombo
December 15, 2025
Local NewsNews

ඊසාන දිග මෝසම් පෙර සූදානම: උතුරු පළාතට සාමාන්‍යයට වඩා වැඩි වැසි; නාය යෑමේ අවදානම ඉහළට

ඊසාන දිග මෝසම් සක්‍රීය වීමත් සමඟ දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා පාර්ශවකාර ආයතනවල පවතින පූර්ව සූදානම් කටයුතු පිළිබඳව විමසා බැලීම සහ දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෝසම් පෙර සූදානම් දැනුවත් කිරීමේ වැඩසටහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාම මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (දෙසැම්බර් 10) පැවැත්විණි.

කාලගුණ අනාවැකි සහ අවදානම්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනුෂා වර්ණසූරිය මහත්මිය ඉදිරිපත් කළ පුරෝකථන මෙසේය:

  • වර්ෂාපතන තත්ත්වය (පසුගිය වසර 30ක දත්ත අනුව):
    • උතුරු පළාත: සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැක.
    • උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්: සාමාන්‍ය අගයට ආසන්න වර්ෂාපතනයක්.
    • බස්නාහිර සහ දකුණු පළාත්: සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබිය හැක.
  • අධික අවදානම් මාස: විශේෂයෙන් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී අඩු පීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැළඹීම්, අවපාත හෝ සුළි සුළං ඇතිවීමේ හැකියාවක් පවතී.
  • මහජනතාවට උපදෙස්: එසේ වුවහොත් අධික වැසි, ගංවතුර සහ නාය යෑම් සිදුවිය හැකි බැවින්, අදාළ ආයතන විසින් සපයනු ලබන උපදෙස් සහ දැනුවත් කිරීම් කෙරෙහි මහජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුය.

නාය යෑම් සහ සෞඛ්‍ය අවදානම්

  • නාය යෑම් අවදානම (NBRO): ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පෙන්වා දුන්නේ, මේ වන විට නාය යෑම් අවදානම් සහිත ප්‍රදේශ තවදුරටත් අවදානම් සහිත බවයි. ඉදිරි මෝසම් වර්ෂාවත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් අවදානම් විය හැකි අතර, මිලිමීටර් 50ක පමණ වර්ෂාපතනයකදී පවා නාය යෑම් තත්ත්වයක් ඇති විය හැකි බැවින් තාක්ෂණික ආයතන විසින් නිකුත් කරනු ලබන අවදානම් නිවේදන අනුව කටයුතු කළ යුතු බවයි.
  • සෞඛ්‍ය අවදානම: වෛද්‍ය අසංග වෙදමුල්ල මහතා සඳහන් කළේ, වර්තමානය වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ආපදා හේතුවෙන් වර්ධනය වන අවදානම් තත්ත්ව කිසිවක් වාර්තා නොවන බවයි. කෙසේ වෙතත්, මෝසම් වර්ෂාව සමඟ ඩෙංගු සහ මී උණ තත්ත්වයන් වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින් තමා ජීවත් වන වටපිටාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු පෙන්වා දෙන ලදී.

වැඩසටහනේ අවධාරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පැවති මෙම වැඩසටහනට ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රාජ්‍ය නොවන ආයතන සහ පෞද්ගලික අංශය ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් සහභාගී වූහ.

සාකච්ඡාවේදී අවධාරණය වූයේ:

  • කණ්ඩායම් ස්ථානගත කිරීම: ආපදා තත්ත්වයක දී සෙවීම් හා මුදවා ගැනීමේ කණ්ඩායම් සහ උපකරණ මෝසම් වර්ෂාවට පෙර නිසි ආකාරයෙන් ස්ථානගත කිරීමේ වැදගත්කම.
  • පූර්ව සූදානම: ඇති විය හැකි ආපදාවන් හා ඒ සඳහා මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව අදාල ආයතන හා පාර්ශව දැනුවත් කිරීම සහ ආපදා තත්ත්වය සඳහා පූර්ව සූදානමින් සිට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ වැදගත්කම.

Related posts

මා ජනාධිපති වීම වැලැක්වීමට ලොකු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..- අනුර

Maimoonar

ශ‍්‍රී ලංකාවේ උදවුවට චීනය නොඑයි..- විදෙස් මාධ්‍ය

Maimoonar

නව කැබිනට් ලේකම්වරුන් පත් කෙරේ.. ලයිස්තුව මෙන්න..

Maimoonar