February 12, 2026
Local NewsNews

‘රටක් එක නීතියක්’ ප‍්‍රධානී ඥාණසාර හිමි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට රට අමතයි..

“ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම” වෙනුවෙන් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අපේක්ෂිත අරමුණු එහි සාමාජිකයන් සමග එක්ව නොපිරිහෙලා ඉටු කිරීමට කැපවන බව එහි සභාපති, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

එකී කාර්යභාරය ඉටුකිරීමේදී මූලික ප්‍රතිපත්ති රාමුවක් තුළ පිහිටා කටයුතු කරන අතර ජාතිය, ආගම, කුලය හෝ වෙනත් සාධකයක් මත කිසිදු පුරවැසියෙකු නීතියේ වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

“එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ” කාර්යභාරය පිළිබඳ ප්‍රථම මාධ්‍ය හමුව අද (01) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණ.

කුමන ජන කොටසකට, ආගමකට හෝ දේශපාලන පක්ෂයකට අයත් වුවත් ඒ සියල්ලටම උඩින්, රට අංක එකට තබා කටයුතු කළ හැකි නම්, එ වැනි රටක නීතිමය රාමුව පිළිබඳ සියලු අදහස්වලට සවන් දීමට කාර්ය සාධක බලකාය සූදානම් බව මෙහිදී අවධාරණය කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙම ගැටලුව පිළිබඳ පුළුල් කියැවීමක් සහ ගැඹුරු අධ්‍යයනයක් ජනාධිපති කාර්ය සාධක බලකාය සතුව පවතින බව පැවසූහ.

අපගේ වගකීම වන්නේ රටේ අනාගත පරපුර ඊළග සියවසට සහ ඉන් ඔබ්බට ගැළපෙන එක් ජාතියක් – එක් කොඩියක් යටතට එක් කළ හැකි, රටට ගැළපෙන එක් නීතියක් නිර්මාණය කිරීම බව ද උන්වහන්සේ පැවසූහ.

අපට අවශ්‍ය පටු බෙදීම්වලින් මිදුනු ඒකීය ජාතියක් ලෙස එකිනෙකාගේ සංස්කෘතික, ආගමික උරුමයන්ට ගරු කරමින් සමගි සම්පන්නව එකට ජීවත්වන ජාතියක්. අපගේ වගකීම වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස හෝ බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් ලෙස හෝ නොබෙදුනු එම සියලු ජාතීන් එකට ගොනු කරන එක නීතියක් මේ රට තුළ ගොඩනැගීමට අවශ්‍ය පරිසරය සැකසීමයි.

ජාති, ආගම්, පළාත් අනුව බෙදීම හේතුවෙන් වැඩිම පීඩාවකට ලක් වූයේ මේ රටේ තරුණ පරපුරයි. එබැවින් මෙම ක්‍රියාවලිය තුළ තරුණ පරපුරට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව පැවසූ උන්වහන්සේ විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ විවිධ සංවිධාන නියෝජනය කරන සියලු තරුණ තරුණියන්ට සිය අදහස් සහ යෝජනා කාර්ය සාධක බලකාය වෙත ලබාදෙන ලෙස ආරාධනා කරන බව ද පැවසූහ.

එමෙන්ම මේ පිළිබඳ රටේ සියලු දේශපාලන පක්ෂ, ආගමික හා සිවිල් සංවිධාන සහ කණ්ඩායම් සමග ඉදිරියේ අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව පැවසූ උන්වහන්සේ සැගවුණු න්‍යාය පත්‍රවලින් තොරව එන සියලුදෙනාට සාකච්ඡාව විවෘත බව සඳහන් කළහ. මේ සියලු අදහස් විමසීමෙන් අනතුරුව කාර්ය සාධක බලාකයේ මතය සහ නිර්දේශ නියමිත කාලය තුළ ජනාධිපතිතුමා වෙත භාරදීමට අපේක්ෂා කරන බව ද උන්වහන්සේ කියා සිටියහ.

ශ්‍රී ලංකාව තුළ “එක් රටක් -එක් නීතියක්” ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධ්‍යයනය කර පනත් කෙටුම්පතක් සැකසීමේ කාර්යභාරය “එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය” වෙත පැවරී තිබෙන බව එහි සාමාජික මහාචාර්ය සුමේධ සිරිවර්ධන මහතා සඳහන් කළේය. එසේ නොමැතිව නීති සැකසීමේ බලයක් ජනාධිපති කාර්ය සාධක බලකායට නොමැති අතර එය ව්‍යවස්ථා සභාව විසින් සිදු කරනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

GotaGohome සටන දෙකඩ කරන්න සේනාධිපති කෝටි 10ක් දීලා.. මෙහයෙවන්නේ රෝහිත..- යුරේනි

Maimoonar

IMF සමග මුල් වටයේ සාකච්චා සාර්ථකයි..

Maimoonar

උෂ්නත්වය ඉහලට.. එලිමහනේ සේවය කරන්නන්ට සෞඛ්‍ය උපදෙස්…

Maimoonar

8 comments

Comments are closed.