February 13, 2026
Local NewsNews

නිදහසේ සැබෑ සිහිනය තවමත් බොඳ වී ඇති බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති

ලංකාව නිදහස ලබා වසර 78ක් ගතවී ඇතත්, එදා අප දුටු සැබෑ නිදහස පිළිබඳ සිහිනය සම්පූර්ණ කර ගැනීමට මෙතෙක් අප අසමත්ව සිටින බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති. නිදහස් දින සැමරුම් දේවමෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ අවධාරණය කළේ, නිදහස ලැබූ අවධියේ පාලනය දේශීය නායකත්වයට පැවරුණද, විදේශීය නීති රීති සහ ආර්ථික ගමන් මග එලෙසම ක්‍රියාත්මක වීම නිසා දේශීය නිෂ්පාදන ආර්ථිකය සහමුලින්ම බිඳවැටී ඇති බවයි. එදා ස්වයංපෝෂිතව සිටි ජාතියක් වූ අප, අද ඇල්පෙනෙත්තක සිට සියල්ල පිටරටින් ගෙන්වන මට්ටමට පත්ව ඇති බව උන්වහන්සේ කණගාටුවෙන් පෙන්වා දුන්හ.

මෑත කාලීනව ඇතැම් රජයේ ඇමතිවරුන් සහ පාලකයන් ආගමික නායකයන් පරිභවයට ලක් කරමින් සිදු කරන ප්‍රකාශ ද කාදිනල් හිමිපාණන්ගේ දැඩි විවේචනයට ලක් විය. රටේ පොදු ප්‍රශ්න හමුවේ ආගමික නායකයින්ට අදහස් දැක්වීමට අයිතියක් නැති පිරිසක් ලෙස සැලකීමේ ප්‍රවණතාව හෙළා දුන් උන්වහන්සේ, ආගමික උරුමයන්ට ගරු කිරීම පාලකයන්ගේ වගකීමක් බව සිහිපත් කළහ. යුරෝපීය රටවල් ආගම ධර්මය බැහැර කිරීම නිසා අද පිරිහීමට ලක්ව ඇති බවත්, එවැනි විනාශකාරී මාවතක් මෙරට තුළ නිර්මාණය කිරීමට උත්සාහ කිරීම අනුවණකමක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

රටේ පවතින ණය බර සහ ආර්ථික අසහනය හමුවේ ජනතාව තවමත් අවදානම් අඩියක සිටින බව පැවසූ උන්වහන්සේ, තරුණ පරපුර සදාචාරාත්මකව පරිහානියට ලක්වීම පිළිබඳව ද අනතුරු ඇඟවූහ. අපේ සංස්කෘතියට හා සභ්‍යත්වයට නොගැලපෙන චින්තනයක් වෙනුවට, ආගමික වටිනාකම් රටේ ප්‍රගතියේ මිනුම්දණ්ඩ කර ගන්නේ නම් මීට වඩා යහපත් රටක් නිර්මාණය කළ හැකි බව උන්වහන්සේගේ අදහසයි. 78 වන නිදහස් සැමරුම සිදු කෙරෙන මෙම වකවානුවේදී, ජාතික සමගිය සහ සදාචාරය ආරක්ෂා කර ගැනීම කෙරෙහි සියලු දෙනා අවධානය යොමු කළ යුතු බව කාදිනල් හිමිපාණෝ පෙන්වා දුන්හ.

Related posts

මහින්දගේ නිවසට ලංවිමෙන් 220KW ජෙනරේටරයක්…?

Maimoonar

ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්‍ෂක ලේකම් රනිල් හමුවේ..

Maimoonar

මුස්ලිම් කොරෝනා මෘතදේහ ආදාහනය නොකරනු..- විරෝධතා..

Maimoonar