January 29, 2026
Local NewsNewsPolitical

2026 අයවැය ප්‍රතිපාදන කාර්යක්ෂමව ජනතා සුබසිද්ධියට යෙදවීම නිලධාරීන්ගේ වගකීමක් බව ජනාධිපති පවසයි

පවත්නා මූල්‍ය සීමාවන් තුළ ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය වෙනුවෙන් යෙදවීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ, මීට පෙර ප්‍රාග්ධන වියදම් සඳහා මුදල් වෙන් කළද ඒවා ප්‍රශස්ත ලෙස වැය කර අවශ්‍ය භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීමට රාජ්‍ය යාන්ත්‍රණය අසමත් වීම නිසා ජනතාවට බොහෝ සංවර්ධන අවස්ථා අහිමි වූ බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින විස්තීර්ණ ණය පහසුකමේ සීමාවන් අනුව ජාතික නිෂ්පාදනයෙන් 13%ක් පමණක් වැය කළ හැකි බවත්, ඉන් අවම 4%ක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. ඒ අනුව, මෙවර අමාත්‍යාංශ වෙත මුදල් වෙන් කර ඇත්තේ රටේ අත්‍යවශ්‍යතාවලට ප්‍රමුඛතාව ලබා දීමේ පදනම මතය. රජය රටේ ප්‍රධානතම ආයෝජකයා ලෙස ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 1400ක් වෙන් කර ඇති අතර, දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් තවත් රුපියල් බිලියන 500ක අතිරේක මුදලක් වෙන් කර තිබේ.

අයවැය ප්‍රතිපාදන නිසි ලෙස කළමනාකරණය කරමින් අපේක්ෂිත භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීම ලේකම්වරුන්ගේ මූලික වගකීම බව ජනාධිපතිවරයා නැවතත් අවධාරණය කළේය. යෝජිත ව්‍යාපෘති නියමිත පරිදි ක්‍රියාත්මක නොවීම යනු ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ අහිමි වීමක් බව පෙන්වා දුන් ඒ මහතා, කිසිදු ප්‍රමාදයකින් තොරව අවශ්‍ය මුදල් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කර ඇති බව ද කියා සිටියේය. මෙම සාකච්ඡාවේදී 2026 වසරට අදාළ අමාත්‍යාංශ මට්ටමේ ව්‍යාපෘති සහ ප්‍රතිපාදන යෙදවීම් පිළිබඳව වෙන් වෙන් වශයෙන් දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.

Related posts

අවශ්‍ය තැන්වල තැබෑරුම් දාන්න මාලිමා ආණ්ඩුව සහාය දෙනවා..- අනුර

Maimoonar

ආහාර උද්දමනය 30% පනී.. ලංකාව ලෝකයේ 12 වැනියා.. ආසියාවේ 4 වැනියා..

Maimoonar

මෙරට 9 වන කොරෝනා මරණය වාර්තා වෙයි

Maimoonar