February 13, 2026
Local NewsNewsPolitical

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැටලු සොයන්න ජනාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව චෝදනා එල්ල වන ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත. ඊයේ (13) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ගුරු විදුහල්පති සමිති සන්ධානයේ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. අදාළ නිලධාරීන්ට එරෙහිව නිකුත් කර ඇති විගණන වාර්තා ගුරු සංගම් විසින් ඉදිරිපත් කළ අතර, එම වාර්තා සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් ලබාගෙන අවශ්‍ය කටයුතු කරන ලෙස තමන් දැනටමත් උපදෙස් දී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.

මීට අමතරව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ද වෘත්තීය සංගම් නියෝජිතයන් චෝදනා ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ තාවකාලිකව අත්හිටුවීමටත්, ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවකින් පසු ලබන වසරේ සිට එම ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමටත් මෙහිදී තීරණය විය. කෙසේ වෙතත්, 1 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ සැලසුම් කළ පරිදිම ක්‍රියාත්මක කෙරෙනු ඇත.

6 ශ්‍රේණියේ සිසුන් සඳහා මින් ඉදිරියට මොඩියුල වෙනුවට පෙළපොත් කඩිනමින් ලබා දීමටත්, ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් කාලච්ඡේද හතේ කාලසටහන ඉවත් කර පෙර පැවති පරිදිම කාලච්ඡේද අටකින් යුත් කාලසටහන යළි ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිවරයා මෙහිදී එකඟතාව පළ කළේය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ලංකා ගුරු සංගමය ඇතුළු ප්‍රධාන ගුරු සහ විදුහල්පති සංගම් රැසක නියෝජිතයෝ සහභාගී වී සිටියහ.

Related posts

ඉන්ධන ගේන්න මුදල් කොපමන උවමනාදැයි සාකච්චා කරයි…

Maimoonar

ජනාධිපතිවරණය ගැසට් කරන්න සූදානම්…

Maimoonar

සජිත් විපක්‍ෂ නායක ලෙස යලි පත්වෙයි..

Maimoonar