අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දීමට නියමිත නව ලිංගික අධ්‍යාපන විෂය මාලාව හරහා මෙරට සංස්කෘතික හා ආගමික වටිනාකම් විනාශ වීමේ අවදානමක් පවතින බව මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන් පවසති. විවාහ ජීවිතය කඩාකප්පල් කරන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන යුගයක, රජය විසින් ඉදිරිපත් කර ඇති මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දෙමව්පියන් සතු අයිතිවාසිකම් උදුරා ගැනීමක් බව උන්වහන්සේ අවධාරණය කරති.
වයස අවුරුදු හයේ දරුවන්ගේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ලිංගික අධ්‍යාපනය හරහා විවිධ විෂමතා ඉගැන්වීමට උත්සාහ කරන බවට චෝදනා කරන කාදිනල්තුමා, ශ්‍රී ලංකාව තුළ පවතින බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමික ප්‍රතිපත්ති මත ගොඩනැඟුණු මානුෂීය සංස්කෘතියට මෙම වැඩපිළිවෙළ පටහැනි බව පෙන්වා දෙයි. බටහිර ලෝකයේ පවතින විෂමතාවන් විදේශීය මුදල් මත පදනම්ව මෙරටට ආදේශ කිරීමට රජය උත්සාහ කරන බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධාන ලබාදෙන මුදල් වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා දීමට කිසිදු රජයකට අයිතියක් නොමැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
ලිංගික අධ්‍යාපනය යනු රජයකට පවරනු වෙනුවට දෙමව්පියන් විසින්ම ආදරයෙන් ඉටුකළ යුතු වගකීමක් බව පෙන්වා දෙන කාදිනල්තුමා, දරුවන් දෙමව්පියන්ට විරුද්ධ කරන ක්‍රමවේද වෙනුවට ආදරය සහ කීකරුකම මත පදනම් වූ පවුල් පරිසරයක් ගොඩනැගිය යුතු බව අවධාරණය කළහ. රටේ උරුම වූ සංස්කෘතියට සහ ගතිපැවතුම්වලට අත නොතබන ලෙස දේශපාලන නායකත්වයට අවවාද කළ උන්වහන්සේ, විවාහ ජීවිතයේ ඒකාග්‍රතාවය ආරක්ෂා කරගැනීමට සියලු දෙනා කැපවිය යුතු බව අවසාන වශයෙන් පවසා සිටියහ.