රටට ව්‍යසනයක් සිදුවූ අවස්ථාවේ ආණ්ඩුවේ මැදිහත් වීම දුර්වල බවත්, ආණ්ඩුව දැන්වත් මේ ප්‍රශ්නය බැරෑරුම්ව ගත යුතු බවත් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා, ආපදාවෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා ආණ්ඩුව වහාම ගත යුතු පියවර කිහිපයක් පෙන්වා දුන්නේය.
IMF කොන්දේසි සහ සුබසාධන
- IMF කොන්දේසි අත්හිටුවීම: ආණ්ඩුව මුලින්ම සිදුකළ යුත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලින් ඉවත් වීම බව දුමින්ද නාගමුව මහතා අවධාරණය කළේය.
- සුබසාධනය: එම කොන්දේසි තිබෙන තාක් කල්, අවතැන් වූ ජනතාවට සුබසාධන සැලසීමට නොහැකි බවත්, එම කොන්දේසි හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා සඳහා පවා බදු ඉවත් කළ නොහැකි බවත් ඔහු පැවසීය.
- බදු ඉවත් කිරීම: වහාම අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ සහ පාසල් උපකරණවල බදු ඉවත් කරන්න ඕනෑ.
නැවත පදිංචි කිරීමේ අවදානම සහ ඉඩම් හිමිකම්
නාය යෑමේ අවදානම මත කඳුකර ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණය යහපත් වුවද, එහිදී මතුවිය හැකි අවදානම් පිළිබඳව ඔහු අනතුරු ඇඟවීය:
- විද්‍යාත්මක ක්‍රමවේදය: කඳුකර ප්‍රදේශවල නැවත පදිංචි කිරීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව කටයුතු කළ යුතුය.
- සුනාමි අත්වැරැද්දෙන් පාඩම් ලබන්න: “සුනාමිය වෙලාවේ වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත් කරලා ඊට පස්සෙ හෝටල් කාරයෝ ගිහිල්ලා ඒ ඉඩම් අල්ල ගත්තා.“
- සැකය: ”කම්පැනි කාරයෝ දාගෙන කමිටුවකුත් හදාගෙන ඉන්න නිසා අපිට පැහැදිලි සැකයක් තියනවා ආණ්ඩුව මේ කඳුකර ඉඩම් සමාගම්වලට විකුණන්න ද සූදානම් වෙන්නේ කියලා.”
- ඉල්ලීම: කඳුකර ඉඩම් සමාගම්වලට විකුණා දමන නාටකය අවසන් නොකර, කඳුකර ඉඩම් නැවත වනාන්තර සඳහා නිදහස් කිරීම කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
- දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය: අවුරුදු 200ක් තිස්සේ ජීවත් වෙන්න ඉඩමක් ඉල්ලන දමිළ ජනතාවට ආරක්ෂාකාරීව ජීවත් වෙන්න ඉඩමක් නිවසක් ලබා දිය යුතු බවත්, ඉන්දියාවෙන් මුදල් ලැබෙන තෙක් බලා නොසිට කඩිනමින් ඒ ජනතාව පිළිබඳව කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
ව්‍යසන සහන සහ ‘ආපදා ධනවාදය’
- ණය සහන (ලීසිං): ජනතාවට උන්හිටි තැන්, වාහන, රැකියා අහිමි වී ඇති බැවින්, ලීසිං සඳහා මාස දෙකක සහනයක් ප්‍රමාණවත් නොවන බවත්, අවුරුද්දකවත් සහනයක් ලබා දිය යුතු බවත් ඉල්ලා සිටියේය.
- ආපදා ධනවාදය: මුළු රටක් හිරිවැටිලා ඉන්න මේ වෙලාවේ ‘ආපදා ධනවාදය’ (Disaster Capitalism) වේගයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
- පරිසරය මුදාගැනීම: “මේ නව ලිබරල් ආර්ථික ක්‍රමය දැන්වත් අවසන් කරන්න ඕන. අපේ රටේ කඳු ටික, ගඟා ඇළවල් මේ සියල්ල සූරාකමින් ලාභ කඳු ගොඩ ගහන කම්පැනි කාරයන්ගෙන් මේ රටේ පරිසර පද්ධතිය මුදාගන්න ඕන.”