Local News News

ආර්ථික ඔස්තාර්ලාගෙත් ඔස්තාර් මහින්ද රාජපක්ෂයි..

කුමන ආර්ථික ඔස්තාර්ලා පැමිණිය ද මෙරට ඉතිහාසය තුළ මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදිනෙක සිදුවී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිලියන 80 ක 85 ක මට්ටමේ පැවතිය ද තම ආණ්ඩුවක් යටතේ එය බිලියන 180 දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ සඳහා වන වැඩපිළිවෙල තමා සතු බවද පවසන ඒ මහතා ඒ තුළ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා ලක්ෂ 20 ක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල අන්තර්ගත බවද පෙන්වාදෙයි.

ඒ මහතා මේ බව සදහන් කළේ හලාවත, ආරච්චිකට්ටුවේ දී පැවැති ජනරැලිය අමතමිනි. එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමේ අපේක්ෂාවෙන් මෙම ජනරැලිය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මහතා,

අද සනත් නිශාන්ත මහතා සිටියා නම් මේ ස්ථානයේ ඉන්නවා. එතුමා සිටියා නම් මගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටිනවා. කවදාවත් මොන අභියෝගය ආවත් මහින්ද රාජපක්ෂ මහතා සහ අපේ කඳවුර පාවා දුන්නේ නැහැ. අද ඒ මහතාගේ ආදරණීය බිරිඳත් වගකීම කරට අරගෙන අපිට දැවැන්ත ශක්තියක් ලබාදෙනවා. පුත්තලම දිස්ත්‍රිකක්ය අපිට අලුත් තැනක් නොවෙයි. මහින්ද රාජපක්ෂ මහතාට විශාල සහයෝගයක් දුන්නා. ඒ මහතා ධීවර ඇමැතිවරයා කාලයේ විශාල වැඩකොටසක් කළා. මේ දිස්ත්‍රික්කයත් හම්බන්තොට දිස්ත්‍රික්කය වගේ බොහෝ දුරට සමානයි. ඒ නිසා මේ ජනතාවගේ අදහස් අපි දන්නවා. එදා මේ ගම්මාන සංවර්ධනය කළේ මේ ජනතාව ජීවත්වන පරිසරය පිළිඳව අපිට අවබෝධයක් තිබෙන නිසයි. අපිට වුවමනාව තිබුණා. මේ ගම්වල දරුවන්ටත් නගරයේ දරුවන්ට මෙන් පහසුකම් ලබාදෙන්න අපිට අවශ්‍ය වුණා. ඒ වගේම නගරයේ දරුවන් ලබන ආදායමට සමාන ආදායමක් ගමේ දරුවන්ටත් දෙන්න අපිට අවශ්‍ය වුණා.

තරුණ තරුණියන්ට රැකියා දෙන්නත් අපිට අවශ්‍ය වෙනවා. ධීවරයන්ට අවශ්‍ය පහසුකම් දෙන්න අවශ්‍ය වුණා. ඔවුන්ට තාක්ෂණය ලබාදීමෙන් පමණයි ආදායම වැඩිකර ගන්න පුළුවන් වෙන්නේ. මත්ස්‍ය අස්වැන්න වැඩිකර ගැනීමෙන් පමණයි ධීවරයන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ වැඩපිලිවෙල අපි ළඟ තිබෙනවා. නමුත් වත්මන් රජයේ ප්‍රතිපත්තියට අනුව සෑම දෙයක්ම විදේශයන්ගෙන් ගේනවා. පසුගිය ආණ්ඩුවේ තෙල් ප්‍රශ්න තිබුණා. උපක්‍රමශීලීව එය නිර්මාණය කළා. විදුලිය නොමැති තත්ත්වයක් තිබුණා. යහපාලන ආණ්ඩුව සමයේ විදුලිබල පද්ධතියට එක මෙගාවොට් එකක් හෝ එකතු නොකළ නිසා බලශක්ති ප්‍රශ්න ආවා. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට විදුලිය කපන්න වුණේ. නමුත් ගෝඨාභය ආන්ඩුව සමයේ ගොවියන්ට සහන දුන්නා. නමුත් අපි කාබනික පොහොර දෙන්න ගිහින් ගොවියන් අපි සමඟ අමනාප වුණා. මම එදා පුත්තලම දිස්ත්‍රික්කයට ආවා. ගොවියන් සමඟ සාකච්ඡා කළා. අපි විශ්වාස කළා මේ රටේ කෘෂිකර්මාන්තය වස විෂෙන් තොර වෙන්න ඕන කියලා.

අපි වවන්න ඕන. මහින්ද රාජපක්ෂ මහතාගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ධීවරයන්ට අවශ්‍ය පහසුකම් දෙන්නත් අවශ්‍ය වැඩපිළිවෙල අපි ලඟ තිබෙනවා. ඒ වෙනුවෙන් දේශීය ව්‍යාපාරිකයන් දිරිගන්වනවා. සංචාරක ව්‍යාපාරය මේ දිස්ත්‍රික්කයේ දියුණු කරන්නත් පුළුවන්. ඒකට අවශ්‍ය වැඩපිළිවෙල අපි ළඟ තිබෙනවා. ඒ සඳහා දේශීය ව්‍යාපාරිකයන් දිරිගන්වන්න දැක්මක් අපිට තිබෙනවා. අපි හැමදාම මේ රටේ දේශීය ව්‍යාපාරිකයා, දේශීය ව්‍යවසායකයා විශ්වාස කළා. අදටත් එහෙමයි. හෙටටත් එහෙමයි. විදෙස් ආයෝජකයන් ගේනවා වගේම දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කරන්න ඕන. දේශීය ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා රකින්න ඕන. සමූපකාර බැංකුව, ග්‍රාමීය බැංකුව ශක්තිමත් කරමින් ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකයන්ට අඩු පොලියට ප්‍රාග්ධනය ලබාදිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ව්‍යවසාය ක්ෂේත්‍රය තුළ රැකියා උත්පාදනය කරන්න ඕන.

ආයෝජකයන් ගේනවා වගේම දේශීය හා විදෙස් රැකියා වෙළඳපොල තුළ ඊළඟ වසර 10 කාලයේ දී අපි රැකියා ලක්ෂ 20 ක් නිර්මාණය කරන්න පියවර ගන්නවා. ඒ තුළින් සෘජුවම තරුණ තරුණියන්ගේ ශක්තිය මේ රටේ ආර්ථිකයට ලබාගන්න පුළුවන් වෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය දැක්මක් සමඟ දේශපාලනය කරනවා. වේදිකාවේ එකිනෙකාට මඩ ගැසුවා කියා ඵලක් නැහැ. පසුගිය වසර 20 හා 30 ගත්විට දේශපාලන ප්‍රතිපත්ති ඇතැමුන්ගේ එක හා සමානයි. එකම කාරණය කතා කරනවා. ඇතැමුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එකම දේ කියනවා. ඒ අපේක්ෂකයන් බොහෝ වෙලාවට විශ්වාස කරන්නේ බටහිරකරණය මිස නවීකරණය නොවෙයි. මම විශ්වාස කරන්නේ බටහිරකරණය නොවෙයි අපි අපේ රට නවීකරණය කරා රැගෙන යායුතුයි කියන විශ්වාසය සහ වැඩපිළිවෙල සමඟ අපි දේශපාලනය කරනවා. ඒ වැඩපිලිවෙල අපි ළඟ තිබෙනවා. ඒ නිසා එක් එක් අයගේ ප්‍රතිපත්ති වෙනස්. ඇතැමුන් මේ රටේ සමාජයට, සංස්කෘතියට පහර දෙන ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබෙනවා.

මේ රටට හානියක් වන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. අද පෝලිම් යුගයක් ගැන කතා කරනවා. ඇතැම් අපේක්ෂකයන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේම ඉන්නේ පෝලිම් ඉවත් කරන්නයි. නමුත් පාස්පෝට් පෝලිම එන්න එන්න දිගු වෙනවා. පොලීසියේ මහත්වරු උදේ සිට රෑ වෙනකල් පාස්පෝට් පෝලිම හදනවා. අනෙක් පැත්තෙන් විදෙස් සංචාරකයන් ලංකාවට එනවිට ගුවන් තොටුපළ තුළ පෝලිමක් නිර්මාණය වී තිබෙනවා. සමහරුන්ගේ ප්‍රතිපත්තිය තමයි පෝලිම වැඩිවෙනවා නම් මිල වැඩි කරනවා. පරිභෝජනය අඩු කරනවා. සංචාරක ව්‍යාපාරයටත් එය කරයි ද කියා බියක් දැනෙනවා. අපිට වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයාගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕන කියා අපි විශ්වාස කරනවා. උද්ධමනයට සමානව රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ඉහළ නැංවිය යුතු වෙනවා. ඒකට දේශපාලඥයන් මැතිවරණයක් එනකල් බලා සිටිය යුතු නැහැ. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්, මාරුවීම්, නිසි ක්‍රමවේදයකට වියයුතු වෙනවා. ඒකට දේශපාඥයන් පැමිණ මැතිවරණයක් පැමිණෙන තෙක් බලා සිටිය යුතු නැහැ.

රාජ්‍ය සේවයේ ගෞරවය අරක්ෂා කරනවා සේම රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම තුළින් සැබෑ පෝලිම් යුගය අවසන් කරන්න පුළුවන් තාක්ෂණික පරිවර්තනයක් අපි ක්‍රියාත්මක කරනවා. අපි ඒක වගකීමෙන් කරනවා. අපේ පරම්පරාව අපේක්ෂා කරන්නේ ඒකයි. අපේ ආර්ථිකය ගැන කතා කරනවා. මොන ආර්ථික ඔස්තාර්ලා පැමිණිය ද මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදිනෙක මේ රටේ සිදුව නැහැ. මමත් අපේ කණ්ඩායමත් ඊළඟ අවුරුදු 10 තුළ බිලියන 80, 85 ආර්ථිකය බිලියන 185 දක්වා වර්ධනය කරනවා. ඒ තුළ තමයි අලුතින් රැකියා උත්පාදනය වන්නේ. ඒ තුළ තමයි මිනිසුන්ගේ අතට සල්ලි යන්නේ. ඒ තුළ තමයි මිනිස්සු පොහොසත් වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය දැක්ම සහ වැඩපිළිවෙල සමඟ අපි මේ රටේ දේශපාලනය කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ ගොඩනැඟුණු දේශපාලන බලවේගයයි. අපි මේ රටට ආදරය කරන දේශපාලන කඳවුරයි.

ඇතැම් පක්ෂ දැන් කියනවා පොහොට්ටුව දැන් ඉවරයි කියලා. එහෙම කියන අය කියනවා පොහොට්ටුවේ රැස්වීම්වලට යන්න එපා කියලා. ගියොත් ගහනවා කියනවා. එක් වෙලාවක ඡන්ද නැහැ කියනවා. නමුත් රැස්වීම්වලට යනවිට බයයි. මේ රටේ මිනිස්සු දන්නවා. මහපොලවට පය ගහලා සංස්කෘතිය ආරක්ෂා කරන මිනිස්සු 21 දාට චන් මධ්‍යස්ථානයට ගොස් පොහොට්ටුවට ඡන්දය දෙනවා.

– Repoter

Related posts

කොළඹ සියළු වෙසලසැල් වහන්නැයි රෝසි වෙලදුන්ට කියයි..

Shiran Viraj

ආදායම් නෑ.. ශ්‍රී ලන්කන් සේවකයින් 400ක් වැටුප් රහිත නිවාඩු යවයි..

Shiran Viraj

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අනාරක්‍ෂිතයි.. පක්‍ෂ නායක රැස්වීම අවලංගු කෙරේ…

Shiran Viraj

Leave a Comment