මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන්ගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබු තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය සැප්තැම්බර් මස 7 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විවිධ පාර්ශව විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද කැදවනු ලැබුවා.
එහිදී එම විනිසුරු මණ්ඩලය විසින් එම තහනම් නියෝගය දීර්ඝ කරනු ලැබු අතර මෙම පෙත්සම් සැප්තැම්බර් මස 6 වනදා සලකා බැලීමට නියමිතයි. මෙම පෙත්සම්වල ඇතැම් වග උත්තරකරුවන් වෙනස් වී ඇති බැවින් පෙත්සම්වල ශීර්ෂ සංශෝධනය කළ යුතු බවයි පෙත්සම් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයින් අධිකරණයට දන්වා සිටියේ.
හිටපු ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු පාර්ශව කීපයක් විසින් පෙත්සම් 15 ක් ඉදිරිපත් කර තිබුණා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය නිමිත්තෙන් පැවති උත්සවයකදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වී බන්ධනාගාරගතව සිටින හෙරොයින් ජාවාරම්කරුවන් හතර දෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තමන් අත්සන් යොදන බව ප්‍රකාශ කළ බවයි.
මේ ආකාරයෙන් තෝරාගත් වරදකරුවන් පිරිසකට පමණක් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීතියට පටහැනි බවත් එතුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන අයිතිය ලැබීමට ඇති මූලික හිමිකම උල්ලංඝනය වන බවයි පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත්තේ.
එබැවින් තෝරා ගත් සිරකරුවන් පිරිසකට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාල දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොණුකර තිබෙනවා.
nethnews
1 comment
spa music