International News News

ඊශ‍්‍රායලයට යළිත් නිරෝධායන සීමාවන් පනවයි

නව්‍ය කොරෝනා වෛරසයේ සීඝ‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඊශ‍්‍රායලයට යළිත් වරක් නිරෝධායන රෙගුලාසි පැනවීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලබන 18 වැනිදා සිට ඉදිරි සති තුනක කාලය, ඊශ‍්‍රායලයට නිරෝධායන සීමාවන් පැනවෙනු ඇති.

කෙසේ වෙතත්, ලබන 27 වැනිදා පැවැත්වෙන යුදෙව් ජාතිකයින්ගේ ආගමික උත්සවවලට මෙම නිරෝධායන රෙගුලාසි පැනවීම හේතුවෙන් බාධා පැමිණෙන බව පවසමින් එරට ඇතැම් පුද්ගලයින් විරෝධතාවල ද නිරත වී තිබෙනවා.

ඊට ප‍්‍රතිචාර දක්වමින් ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප‍්‍රකාශ කළේ, පසුගිය සතිවල 3,000 ක් ලෙස වාර්තා වූ එරට දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 4,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින්, යුදෙව් ජාතිකයින් ඇතුළු ඊශ‍්‍රායලයේ වෙසෙන සියළුදෙනා මෙම කැප කිරීම සිදු කළ යුතු බවයි.

කෙසේ වෙතත්, යුදෙව් ජාතිකයින්ගේ ආගමික උත්සව පැවැත්වීමට නව නිරෝධායන රෙගුලාසි බාධාවක් නොවන බවත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පවුලේ සාමාජිකයින්ට එක්ව උත්සව පැවැත්විය හැකි බවත්, අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේදී ඊශ‍්‍රායලයට මුල් වරට පැනවුණු නිරෝධායන රෙගුලාසි මැයි මස මුලදී ඉවත් කෙරුණ ද, කොරෝනා ව්‍යාප්තියේ යළි නැගී ඒම හේතුවෙන් මෙලෙස නැවත වරක් නිරෝධායන රෙගුලාසි පැනවීමටයි එරට රජය තීරණය කර ඇත්තේ.

ඊශ‍්‍රායලයට පැනවෙන නව නිරෝධායන රෙගුලාසි අනුව, පුද්ගලයින් දස දෙනෙකුට වැඩි පිරිසකට ගෘහස්තව හමු විය නොහැකියි. පුද්ගලයින් විසි දෙනෙකු හෝ ඊට අඩු පිරිසකට එළිමහනේ රැස්වීමට අවසර හිමි වනවා.

පාසල් සහ සාප්පු සංකීර්ණ වසා දැමෙන අතර සුපිරි වෙළදසැල් සහ ඖෂධ අලෙවිසැල් පමණක් පොදු ජනතාව වෙනුවෙන් විවෘත කර තැබීමටයි අවසර හිමිව ඇත්තේ. රැකියා ස්ථාන කරා යාමට අමතරව තම නිවසේ සිට මීටර් 500 කට වැඩි දුරක් ගමන් කිරීමට ඊශ‍්‍රායල වැසියන්ට, නව නිරෝධායන රෙගුලාසි යටතේ අවසර හිමි නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ගව ඝාතන තහනමෙන් පසු ගවයන් රැකගන්න විශේෂ වැඩපිළිවෙලක්

Shiran Viraj

ඉන්දීය ක‍්‍රමයට දඬුවම් දුන්නේ යයි වැඩ තහනම් වුණු පොලිස් නිලධාරින් දෙදෙනා යළි සේවයේ පිහිටුවයි..

Shiran Viraj

56%කින් විදුලිය ගාස්තු ඉහලට.. ?

Shiran Viraj