මහ බැංකුව පසුගිය කාලය තුළ විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළාද?
උද්ධමනය ඉහළ යාමට, ගෙවුම් ශේෂ හිඟය වැඩිවීමට මෙන්ම සාර්ව ආර්ථික අස්ථාවර බවක් ඇති වීමට මෙය හේතු වනවා නේද?
විනිමය අනුපාතික ස්ථාවර කිරීමට මහ බැංකුව විසින් කොපමණ විදේශ විනිමය ප්‍රමාණයක් මහ බැංකුව විසින් පසුගිය කාලය තුළ යොදවනු ලැබුවාද ?
පසුගිය කාලයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටේ අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයෙන් මුදල් නිකුත් කර ඇති බවත්, එසේ සංසරණය සඳහා මුදල් එක්කරලීමේ දී උද්ධමනයේ වැඩිවීමක් හෝ විනිමය අනුපාතිකයට බලපෑමක් හෝ වැනි දෙයක් සිදු වී නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (09) පැවති අන්තර්ජාල සංවාද සැසියක දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා මේ බව සඳහන් කළ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් මෙම සංවාදය සංවිධානය කර තිබුණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ පැවසීය.
“මහ බැංකුව විසින් මුදල් සංසරණය යම් කාලවල දී අඩු වැඩි කරනවා. මේ වගේ ආර්ථික ක්‍රියාකාරකම් අඩුවන කාලයක සහ උද්ධමනය අපේ ඉලක්කයටත් වඩා අඩුවෙන් පවතින කාලයක දී, විශේෂයෙන් ආර්ථිකයේ කෙටිකාලීනව තිබෙන ප්‍රශ්න කොව්ඩ්-19 සහ ඇඳිරි නීතිය සහ ලොක්ඩවුන් කාලවල දී, ආර්ථික ක්‍රියාකාරකම් ඉතාම පහළට වැටෙනවා. ඒත් එක්කම බැංකු පද්ධතිය තුළින් බැංකුවලින් ණය අයකර ගැනීම සෑහෙන ප්‍රමාද කරලා තියෙනවා. ඇඳිරි නීතිය සහ ලොක්ඩවුන් කාලපරිච්ඡේදය තුළ දී ජනතාව අතර සාමාන්‍ය කාලයට වඩා වැඩියෙන් මුදල් සංසරණයක් අවශ්‍යයි. එතකොට ඕනෑම මහ බැංකුවක වගකීම තමයි මෙවැනි කාලවල දී මුලින්ම බැංකු පද්ධතිය තුළ අවශ්‍ය මුදල් සංසරණය පවත්වා ගැනීමට ඉඩ පහසුකම් සැලසීම.“
“දෙවන කාරණය තමයි මහජනතාව අතර අවශ්‍ය ප්‍රමාණයට එදිනෙදා අවශ්‍ය ගනුදෙනුවලට තමන්ගේ ආරක්ෂිත කටයුතුවලට අවශ්‍ය මුදල් තමන්ගේ අතේ තබා ගැනීමට හැකිවන පරිදි අවශ්‍ය මුදල් සංසරණය තුළින් ජනතාවට පහසුකම් සැලසීම. මෙවැනි කාලයක දී බැංකු පද්ධතියට සාමාන්‍ය කාලයට වඩා වැඩිපුර මුදල් සංසරණයක් අවශ්‍ය වෙනවා, මොකද ණය ආපසු එන්නේ නැති නිසා. දීපු සහනය නිසා ඒවා ගෙවන්නේ නැති නිසා. ඒ වගේම තිබෙන අවිනිශ්චිතතාවය නිසා ජනතාවත් වැඩිපුර තමන්ගේ අතේ මුදල් තබා ගැනීමට පෙළඹෙනවා. ඒ නිසා විශේෂයෙන් පසුගිය කාලය තුළ අපි යම් යම් ක්‍රමවේද තුළින් මහ බැංකුවේ වගකීම වශයෙන් යම්කිසි ආකාරයක වැඩිපුර මුදල් සංසරණයක් කෙටිකාලීනව පහසුකම් සලසලා තිබෙනවා. එහිදී වැදගත් වෙන්නේ මුදල් සංසරණය කියන එක අවශ්‍ය ප්‍රමාණයට වඩා ද, ඊට වඩා වැඩි ද අඩුද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ විශ්වාසේ හැටියට මුදල් සංසරණය ඇත්තවශයෙන්ම මේ කාලයේ අවශ්‍යතාවය අනුව මහ බැංකුව විසින් ජනතාවට සහ බැංකු පද්ධතියට ලබා දීලා තිබෙනවා.“
“අනෙක් ප්‍රශ්නය තමයි, ඒ තුළින් උද්ධමනයක් හෝ සාර්ව ආර්ථික අස්ථායීතාවයක්, ගෙවුම් ශේෂයේ බලපෑමක්, විනිමය අනුපාතයට බලපෑමක් වුණාද කියන එක. එතකොට මුදල් සංසරණය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර තිබ්බා නම් අපිට දකින්න ලැබෙනවා ඒ තුළින් විශාල වශයෙන් උද්ධමනයේ වැඩිවීමක්, එසේත් නැතිනම් වෙනත් ආර්ථික ක්‍රියාකාරකම් වැඩි වෙලා ඉල්ලුම වැඩි වෙන්න ඕනේ, එහෙම නැත්නම් ආනයනවලට ඉල්ලුම වැඩිවෙලා, විනිමය අනුපාතවලට බලපෑමක් වෙන්න ඕනේ. නමුත් මේ කිසිම දෙයක් වෙලා නැහැ. ඒකෙන් පෙන්නුම් කරන්නේ අපි ජනතාවගේ සහ බැංකු පද්ධතියේ අවශ්‍යතාවයට නිකුත් කරන ලද, ද්‍රවශීලතාවය පවත්වා ගෙන යාමට මහ බැංකුවෙන් නිකුත් කරන මුදල් ප්‍රමාණය රටේ අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයෙන් කර ඇති බවයි.“
මේ අතර විනිමය වෙළෙඳපොළ සම්බන්ධයේ මහ බැංකුව කුමනාකාරයේ මැදිහත්වීමක් කළේය යන්න පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැහැදිලි කරන ලදී.
“විනිමය අනුපාතික සම්බන්ධයෙන් බැලුවොත්, අප්‍රේල් මාසය මුලදී පැවති අවිනිශ්චිතතාවය උඩ විනිමය අනුපාතික රු. 200කට වගේ ගිහිං දැන් රු. 185 වගේ සෑහෙන ප්‍රමාණයක අධිප්‍රමාණය වෙලා තියෙනවා. අපි කොතරම් මුදල් වැය කරලා තියෙනවාද විනිමය අනුපාතය වෙනුවෙන්, ඇත්තවශයෙන්ම වෙලා තියෙන්නේ, පසුගිය සති දෙක තුන සහ මාසයක කාලයක ඇතුළත , අපි විනිමය අනුපාතයට මැදිහත්වීම වෙලා තියෙන්නේ, විනිමය අනුපාතය යම්කිසි ආකාරයක අපි සංචිත රැස්කර ගැනීමෙන් මිසක් සංචිත වියදම් කිරීමෙන් නොවෙයි. සංචිත ගොඩනංවා ගැනීමෙන් රුපියල ශක්තිමත් වීමක්. පැහැදිලිවම කියන්න පුළුවන් කාරණයක් තමයි, මේ කියන මුදල් සංසරණය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර කෙරිලා නැහැ.“
(under the courtesy of adaderana.lk news web)