February 26, 2026
BusinessBusiness NewsNews

බිඳ වැටුණු ආර්ථිකය ගොඩගන්න රාජ්‍ය බැංකු දායකවිය යුතු බව ජනපති අවධාරණය කරයි

බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සැකසීම රාජ්‍ය බැංකු සතු වගකීමකි. එය හඳුනාගෙන ආර්ථිකය සක්‍රීය කොට පවත්වා ගැනීමේ ක්‍රමෝපාය ඉදිරියට ගෙන යාම බැංකුවල ප්‍රමුඛ වගකීම බව ජනාධිපතිතුමා කියා සිටී.

ලංකා බැංකුවේ ක්‍රියාකාරිත්වය සමාලෝචනය පිණිස අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ණය සඳහා ඉලක්කම් 02ක පොළියක් අය කිරීමෙන් රටක අපේක්ෂා ඉටු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය තනි ඉලක්කමක පහළ අගයකට ගෙනැවිත් සංවර්ධනයට සහාය වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

තමාගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ උපකාර කළ පිරිසට ණය දෙන ලෙස කිසි විටෙකත් තමා බැංකු වලට කියා නැති බව ජනාධිපතිතුමා සඳහන් කළේය. එහෙත් ගොවියාගේ සිට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට සහ ආයෝජකයන් අපේක්ෂා කරන මූල්‍යමය සහය දීමට රාජ්‍ය බැංකු පෙරමුණ ගත යුතු බව රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

අද පවතින තත්වයට ලෝකයේ කිසිදු රටක් මෙතෙක් මුහුණ දී නැත. ඉන් මිදිය හැක්කේ කෙසේද යන්න පැරණි රටාවෙන් බැහැරව සිතිය යුතුය. වැටී ඇති ආර්ථිකය නගාසිටුවීම සාම්ප්‍රදායික ක්‍රමවේද මගින් පමණක් කළ නොහැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ජනතාව තමාට ලබාදී ඇති බලය ක්‍රියාත්මක කරමින් සමස්ථ රටවැසියාගේ අපේක්ෂා ඉටු කිරීමට පසුබට නොවන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. එය කිසිසේත් දේශපාලනය වෙනුවෙන් නොව රට වෙනුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඊට බාධා කරන්නේ නම් සුදුසු පියවර ගැනීමට පසුබට නොවන බව ද සඳහන් කළේය.

2015ට පෙර 7% ත්  8% ත් අතර පැවති ආර්ථික වර්ධන වේගය 2019 වන විට 2% ටත් වඩා පහත වැටිණ. කොවිඩ් වසංගතයත් සමග බිඳවැටුණු ලෝක ආර්ථිකය හමුවේ එය තවදුරටත් කඩාවැටී ඇත. මේ සියලු කරුණු වටහාගනිමින් රටේ ආර්ථික පුනරුදය සඳහා වෙනුවෙන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහායවීම රාජ්‍ය බැංකු සතු වගකීමක් බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ යන මහත්වරු, අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මාලිමාව ජනාධිපතිවරණයට වඩා ලක්‍ෂ 12ක් මහ මැතිවරණයට වඩා ලක්‍ෂ 24ක් අඩුයි..

Maimoonar

මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය හෝමාගම දී විවෘත කෙරේ

Maimoonar

රටට කිසිදු ප්‍රතිලාභයක් නැතිව කන්තලේ සීනි සමාගම විදේශ සමාගමකට… සීනි ඒකාධිකාරයත් ඔවුනටම…

Maimoonar

4 comments

Comments are closed.