NewsPolitical

මැතිවරණය පැවැත්වීමට තත්වය සුදුසුයි.. මැතිවරණය ඉක්මනින් පවත්වන්න.. විරුද්ද පෙත්සම් නීති විරෝධීයි..- නීතිපති උපරිමාධිකරණයට කියයි..

ජුනි මස 20 වැනි දින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු වාතාවරණයද ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු කිසිදු අවහිරයකින් හෝ අපහසුවකින් තොරව පවත්වාගෙන යෑමේ හැකියාවද කඩිනමින් එය පැවැත්වීමේ අවශ්‍යතාවද පැහැදිලිවම නිර්මාණය වී තිබියදීත්, කරුණු වසන් කරමින් වැරැදි තොරතුරු ගෙනහැර දක්වමින් ශේ‍ර්ෂ්ඨාධිකරණය මඟින් එය නවත්වාලීමට පෙත්සම්කරුවන් ක්‍රියා කරන බැව් පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළ නීතිපතිවරයා පෙත්සම් සම්බන්ධයෙන් මූලික විරෝධතා 05ක් ඉදිරිපත් කරමින් ඊයේ (18දා) ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ සලකා බැලීමකින් හෝ තොරව මෙම පෙත්සම් ඉවත දමන ලෙසය.

අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය නීතිපති වාචිකය ඉදිරිපත් කරනු ලැබුවාය.

පෙත්සම්කාර වික්ටර් අයිවන් හා පෙත්සම්කාර නීතිඥ චරිත ගුණරත්න යන දෙපාර්ශ්වය වෙනුවෙන්ම පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා ඊයේ පුරා පැය 03කට අධික කාලයක් කරුණු ගෙනහැර දැක්වූ අතර සෙසු පෙත්සම්කාර පාර්ශ්වයන් වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා අද (19දා) පෙරවරු 10.00ට යළි පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය රැස්වීමට නියම විය. පෙත්සමෙහි 05 වැනි වගඋත්තරකාර ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් නීතිඥ සහන් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මහතා සමඟ පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ද නීතිපති ස්ථාවරය අනුමත කරමින් සුමන්දිරන් මහතාගේ කරුණු දැක්වීම්වලට අවස්ථා කිහිපයකදීම විරෝධතාව පළකර සිටියේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් වූ ජේ‍යෂ්ඨ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් කේ. මලල්ගොඩ යන ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවන්ගෙන් සැදුම්ලත් පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම පෙත්සම් විභාගය සිදු කෙරේ.

මූලික අයිතිවාසිකම් පෙත්සම් අංක 83/2020, 15/2020, 86/2020, 87/2020, 88/2020, 89/2020 හා 115/2020 යන පෙත්සම් පමණක් ඊයේ දිනයේදී කැඳවනු ලැබූ අතර ඉන් අනතුරුව මැදිහත්කාර පෙත්සම් පාර්ශ්ව කැඳවන බව විනිශ්චය මණ්ඩලය ප්‍රකාශ කර සිටියේය.

රජයේ නීතිපතිවරයාගේ වාචකය ඉදිරිපත් කරමින් පහත සඳහන් මූලික විරෝධතාවන් 05ක් අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය විසින් පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ ගෙනහැර දක්වන ලදී.

1) නුසුදුසු අවස්ථාවකදී පෙත්සම් ඉදිරිපත් කර තිබීම, 2) ප්‍රධාන වශයෙන් පෙත්සම් මඟින් ගෙනහැර දක්වනු ලබන ක්‍රියාවන් සම්බන්ධයෙන් වගකිවයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගඋත්තරකරුවකු නොකිරීම හා අඩුම වශයෙන් ඔහු වෙනුවෙන් නීතිපතිවරයාගෙන් වගඋත්තරකරුවකු ලෙස නම්කර නොතිබීම, 3) නීතිමය ප්‍රතිපාදන නොසැලසී තිබියදී අනිසි ආකාරයෙන් පෙත්සම ඉදිරිපත් කිරීම, 4) ඉටුකළ නොහැකි ආකාරයේ සහන අයැද සිටීම හා 5) මහ මැතිවරණ පැවැත්වීම සඳහා මේ වනවිටත් සියලු කටයුතු සිදුකොට තිබෙන අවස්ථාවකදී එය අත්හිටුවන ලෙසට ඉල්ලා සිටීම එම විරෝධතාවන් විය.

මහ මැතිවරණය පැවැත්වීම අත්හිටුවීමට එරෙහිව ගොනුකොට ඇති පෙත්සම් හා මැදිහත්කාර පෙත්සම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ, ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතිඥ අලි සබ්රි, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ උදිත ඉගළහේවා ඇතුළු නීතිඥවරු විශාල පිරිසක් ඉදිරිපත්ව සිටියහ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මියන්මාරයේ ජේඩ් ආකරයක් නාය යයි – 113ක් මරුට

Maimoonar

ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජයි…- කොටුවේ පොඩි හාමුදුරුවෝ

Maimoonar

දිනක මරණ ගණන 1000 පනීවි.. දැන්ම රට වසා දමන්න.

Maimoonar

69 comments

Comments are closed.